PEDRO PARDO / AFP

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ ආරක්ෂක උපදෙස් මාලාව: කොරෝනා වයිරස වසංගත ව්‍යාප්තිය ආවරණය කිරීම

2021 මැයි මස 20 වන දිනට යාවත්කාලීන කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2020 මාර්තු මස 11 වැනිදා ‘කොවිඩ්-19’ (නව කොරෝනා වයිරසය) වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව ගෝලීය තත්ත්වය දිගටම ව්‍යාප්ත වෙමින් පවතින අතර අලුතෙන් හඳුනාගත් කොරෝනා වයිරස් ප්‍රභේද  හා වේගයෙන් සිදු කරන කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන නිසා රටවල් ඔවුනගේ සංචරණ සීමා හා ආරක්ෂාව සම්බන්ධ පියවර වැඩි කරමින් හෝ අඩු කරමින් සිටියි.

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව ලේඛනගත කර ඇති පරිදි ස්වාධීන වාර්තාකරණය හා තොරතුරුවලට ප්‍රවේශ වීම අවහිර කිරීමට රටවල් කිහිපයක අධීකාරීන් උත්සාහ කර තිබියදීත් වයිරසය හා ඊට එරෙහිව සටන් කිරීමට රටවල් ගන්නා ප්‍රයන්ත පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ලොවපුරා මාධ්‍යවේදීහු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව මාධ්‍යවේදීන් සමග කළ සම්මුඛ සාකච්ඡාවලට අනුව මාධ්‍යවේදීන් මහත් පීඩාවලට සහ බලපෑම්වලට මුහුණ දෙති. ගමනාගමනයේදී, සංචාරයේදී, සම්මුඛ සාකච්ඡාවලදී මෙන්ම ඔවුන් සේවා කරන ස්ථානවලදී හා පුවත් වාර්තා කරන ස්ථානවලදී මාධ්‍යවේදීන් නිරන්තරයෙන් වයිරසය ආසාදනය වීමට නිරාවරණය විය හැකිය. මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව මෑතකදී වාර්තා කළ පරිදි මාධ්‍යවේදීන් වාරණයට, විවිධ අඩන්තේට්ටම්, කායික මෙන්ම අන්තර්ජාලය ඔස්සේ විවිධ හිංසා, හිරිහැර හා පීඩාවලට ලක්වෙමින් සිටින අතර ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇතැම් මාධ්‍යවේදීන්ට සිය ජීවනෝපය ද අහිමි වී ඇත.

නවතම උපදෙස් හා සීමා යාවත්කාලීන කිරීම සඳහා ව්‍යාප්තවීම ආවරණය කරන මාධ්‍යවේදීහු ලෝක සෙෳඛ්‍ය සංවිධානයේ හා එම සංවිධානයේ දේශීය මහජන සෞඛ්‍ය ආයතනයේ තොරතුරු පරික්ෂා කළ යුතුය. ‘ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වයිරසය පිළිබඳ සම්පත් මධ්‍යස්ථානය’ වයිරසයේ ව්‍යාප්තිය සහ එහි වර්ධනය සම්බන්ධයෙන් නවතම තොරතුරු දැනගැනීමට ආරක්ෂිත සහ විශ්වාසී මූලාශ්‍රයකි.

ක්ෂේත්‍රයේ සුරක්ෂිතව සිටීම

ජාත්‍යන්තර ගමනාගමන සීමා හා/හෝ ආරක්ෂාව සම්බන්ධ පියවර නිරන්තරයෙන් වෙනස් වෙමින් තිබේ. රාජකාරි මාධ්‍ය ආවරණ කටයුතු යනාදිය ඉතා කෙටි දැනුම්දීමකින් හෝ කිසිදු දැනුම්දීමකින් හෝ තොරව වෙනස් වීමට හෝ අවලංගු වීමට හැකිය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණය සඳහා වූ මධ්‍යස්ථානවලට අනුව එන්නත් ලබාගත්  මාධ්‍යවේදීන්ගේ තමන්ගෙන් තවදුරටත් වයිරසය පැතිරිය හැකි බව මතක තබා ගත යුතුය. එමෙන්ම යේල් මෙඩිසින් වෛද්‍ය කණ්ඩායමට අනුව විවිධ එන්නත් වයිරසයේ විවිධ ප්‍ර‌භේදවලට එරෙහිව විවිධ මට්ටමේ ආරක්ෂක මට්ටම් සලසන බවද සැලකිල්ලට ගත යුතුය.

‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය වාර්තා කිරීමට අදහස් කරන සියලුදෙනා පහත සඳහන් ආරක්ෂිත තොරතුරු සැලකිල්ලට ගත යුතුය.

පූර්ව රාජකාරි/පැවරුම්

  • විශේෂයෙන්ම ඔබ සේවයේ යෙදී සිටින්නේ හෝ ගමන් කරන්නේ දැඩි ලෙස ආසාදනයට ලක්වූ ප්‍රදේශයකට නම් හැකියාවක් තිබේ නම් ඔබේ ආරක්ෂාව සඳහා ඕනෑම රාජකාරියකට පෙර කොවිඩ් 19 එන්නත ලබාගැනීම පිළිබඳ සලකා බලන්න.
  • ඔබ සිටින ස්ථානයේ හෝ ඔබේ ගමනාන්තයේ ආසාදිත තත්ත්වය කොපමණ ඉහළ මට්ටමක තිබේද යන්න මත සම්ප්‍රේෂණය වීමේ හා/හෝ ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීමට පෞද්ගලිකව හමු නොවී (මුහුණට මුහුණ හමු නොවී) දුරකථනයෙන් හෝ අන්තර්ජාලය හරහා සම්මුඛ සාකාච්ඡා පැවැත්විය යුතුය.
  • ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණය සඳහා වු මධ්‍යස්ථානවලට අනුව වයස්ගත පුද්ගලයන් හා ස්ථුලභාවය සහ දියවැඩියාව ආදී නිදන්ගත රෝගී හා සෞඛ්‍ය තත්ත්වවලින් පසුවන පුද්ගලයන් වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයන් ලෙස සැලකේ.  ඔබ එවැනි වර්ගීකරණයකට අයත් නම්, හා ආසාදිත මට්ටම මත පදනම්ව සාමාන්‍ය ජනතාව සමග ඍජු සබඳතා පැවැත්වීමට සිදුවන කිසිදු රාජකාරියකට සහභාගි නොවිය යුතුය. ගර්භණී සේවිකාවෝද මෙය සැලකිල්ලට ගත යුතුය.
  • ‘ද නිව්යොක් ටයිම්ස්’ පුවත්පත මගින් පෙන්වාදෙන පරිදි ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් වාර්තා කිරීමට මාධ්‍යවේදීන් (කාර්යමණ්ඩලය) තෝරාගැනීමේදී විශේෂයෙන්ම විවිධ ජාතීන් ඉලක්ක කරගනිමින් සිදුවිය හැකි එදිරිවාදී, ජාතිවාදී හා වාර්ගික ප්‍රහාර පිළිබඳව කළමනාකාරීත්වය සැලකිලිමත් විය යුතුය.
  • ගෝලීය සංචරණ සීමා හා අගුලු දැමීමේ පියවර කෙටි දැනුම්දීමකින් හෝ දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකිය. රාජකාරිය හෝ පැවරුමක් අතරතුරදී ඔබ රෝගී වුවහොත්, දීර්ඝකාලයකට සම්පූර්ණයෙන් වසා දමන ලද කලාපයක ස්වයං-නිරෝධායනය වීමට (හුදෙකලා වීමට) හෝ එක් තැනක ස්ථානගත වීමට සිදු වුවහොත් හෝ එවැන්නක් වීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් එවැනි අවස්ථාවකදී ඔබට සහාය වීම/ආධාර කිරීම යනාදිය සඳහා කළමනාකාරීත්වය සතුව ඇති සැලසුම් මොනවාදැයි ඔවුන් සමඟ සාකච්ඡා කරන්න.

මානසික යහපැවැත්ම

  • ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇති රොයිටර්ස් ආයතනයට අනුව ‘කොවිඩ්-19’ වාර්තා කිරීමේදී පළපුරුදු සහ අත්දැකීම් ඇති මාධ්‍යවේදීන් වුවද මානසික ආතතියට ලක් විය හැක. ඔවුන් මෙම වගකීමට මුහුණ දෙන අකාරය බලමින් අවශ්‍ය නම් හා අවශ්‍ය විටක මග පෙන්වීමක් හා සහායවීමක් ලබා දීම උදෙසා කළමණාකාරීත්වය සිය මාධ්‍යවේදීන් පිළිබඳව පරීක්ෂාකාරීව සිටිය යුතුය.
  • ‘කොවිඩ්-19’ වසංගතයෙන් බලපෑමට පත්වූ එවැනි ප්‍රදේශයකදී, විශේෂයෙන්ම වෛද්‍ය හෝ හුදෙකලා කරන ලද මධ්‍යස්ථානයක සිට, හෝ අගුලු දමන ලද කලාපයක සිට වාර්තා කිරීමේදී එයින් සිදුවිය හැකි මානසික බලපෑම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. භයානක තත්ත්ව/චිත්ත කම්පන ඇති කරන සිදුවීම්/අවස්ථා ආවරණය කරන මාධ්‍ය වෘත්තිකයන්ට ‘ඩාර්ට්’ (DART-Center for Journalism and Trauma ) ‘මාධ්‍ය සහ චිත්ත කම්පන’ පිළිබඳ මධ්‍යස්ථානයෙන් ප්‍රයෝජනවත් තොරතුරු/මූලාශ සොයාගත හැක. ‘කොවිඩ්-19’ වාර්තා කරන මාධ්‍යවේදීන් සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ යහපත් පිළිවෙත් ඇතුළු බාහිර ආරක්ෂාවට අදාළ/සම්බන්ධයෙන් වන තොරතුරු, මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ‘හදිසි ආපදා’ පිළිබඳ වෙබ් පිටුවෙන් ලබාගත හැක.

ආසාදනය වීමෙන් හෝ වෙනත් අයට ආසාදනය කිරීමෙන් වැළකීම

රටවල් රැසක් සමාජ සහ කායික/භෞතික දුරස්ථභාවය (ඈත්ව සිටීම) සිටීමේ ක්‍රමවේදය අනුගමනය කරයි. කෙසේවෙතත් නිර්දේශිත දුර ප්‍රමාණය ඔබ සිටින රට අනුව වෙනස් විය හැකිය. ඉහළම අවදානමක් සහිත, පහත සඳහන් ඕනෑම ස්ථානයක සිටින විට එවැනි ස්ථාන වල ක්‍රියාත්මක වන සනීපාරක්ෂක පියවර/ක්‍රියාමාර්ග පිළිබඳ කල්තියා විමසන්න. ඔබට කුමක් හෝ සැකයක් හෝ අවිශ්වාසයක් තිබේ නම් එවැනි ස්ථානවලට යෑමෙන් වළකින්න.

  • ඕනෑම ආකාරයක සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථානයකට
  • වැඩිහිටි නිවාසයකට
  • රෝගී පුද්ගලයකුගේ, වැඩිහිටියකුගේ, ගර්භනී කාන්තාවකගේ හෝ සෞඛ්‍ය ගැටලු ඇති අයකුගේ නිවසකට
  • පැතිරීමේ අවදානම ඉහළ මට්ටමක ඇතැයි සැලකෙන ඕනෑම රැකියාස්ථානයක් (උදා -: මස් සැකසුම් කර්මාන්ත ශාලාවක්)
  • මළසිරුරු තබන කාමරයකට, මෝචරියකට, ආදාහනාගාරයකට හෝ අවමංගල්‍ය සේවා සපයන ස්ථානයකට
  • නිරෝධායන, හුදකලා හෝ වසා දමන ලද කලාපයකට
  • දැඩි තදබදයක් සහිත නාගරික ස්ථානයකට (මුඩුක්කු හෝ පැල්පත්)
  • සරණාගත කඳවුරක් හෝ ‘කොවිඩ්-19’ වැලඳුන ආසාදිතයන් සිටින බන්ධනාගාරයක්/ රැඳවුම් මධ්‍යස්ථානයක්

ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා සම්මත සහ පිළිගන්නා නිර්දේශ පහත දැක්වේ.

  • ඕනෑම පුද්ගලයකු සමඟ අවම වශයෙන් මීටර දෙකක පරතරයක් තබා ගන්න. කැස්ස හා කිවිසුම් යෑම වැනි ස්වසන ආබාධවලට අදාළ ඕනෑම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන පුද්ගලයන්, වයස්ගත පුද්ගලයන්, නිදන්ගත රෝගී හා සෞඛ්‍ය තත්ත්ව සහිත පුද්ගලයන්, රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වන පුද්ගලයන්,  ‘කොවිඩ්-19’ රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන් හෝ දැඩි අවදානමක් සහිත ස්ථානවල සිටින සේවකයන් සමඟ සම්මුඛ සාකච්ඡා සිදු කිරීමේදී ආරක්ෂිත අවම දුර පරතරය තබා තබාගැනීමට මාධ්‍යවේදීන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
  • සෑමවිටම පිටත ස්ථානයක සිට පුද්ගලයන් සමග සම්මුඛ සාකාච්ඡා සිදු කිරීමට උත්සාහ කරන්න. ඔබට ගෘහස්ථව සම්මුඛ සාකාච්ඡාව කිරීමට අවශ්‍ය නම් වායු දහරාවක් සහිත ස්ථානයක් තෝරා ගන්න. (උදා-: විවෘත කරන ලද ජනේල) එමෙන්ම ඒ සඳහා කුඩා සීමා සහිත ස්ථානයක් තෝරා ගැනීමෙන් වළකින්න.
  • ඕනෑම අයකුට අතට දීම, ඕනෑම අයකු වැලඳගැනීම හෝ සිපගැනීම නොකරන්න.
  • සම්මුඛ සාකාච්ඡාවකදි මුහුණට මුහුණ නොව අදාළ පුද්ගලයාගේ කෝණයකින් සිටීමට උත්සාහ කරන්න. සෑමවිටම නිර්දේශීත දුර පරතරයක් තබා ගන්න.
  • උණුසුම් ජලය සහ සබන් යොදා අවම වශයෙන් තත්පර 20 ක් වත් නිසියාකාරව ඔබේ දෑත් සොදන්න. නිසි ලෙස ඔබේ දෑත් පිස දැමිමෙන් වියළා ගන්න. ඔබේ දෑත් නිසි පරිදි සේදීම හා වියළීම සිදු කරන ආකාරය පිළිබඳ ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙන් සොයා ගත හැකිය.
  • උණුසුම් ජලය හා සබන් නොමැති නම් විෂබීජනාශක ජෙල් වර්ගයක් හෝ පිසදනාවක් (wipes) භාවිත කරන්න. එහෙත් හැකි සෑමවිටම උණුසුම් ජලය හා සබන් යොදා දෑත් සෝදන්න. (සියයට 60කට වඩා එතනෝල් හෝ සියයට 70කට වඩා අයිසෝප්‍රෝපනෝල් (isopropanol) මද්‍යසාර අඩංගු සනීපාරක්ෂක දියර භාවිත කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිර්දේශ කරයි). නිරන්තරයෙන් දෑත් සේදීම වෙනුවට සනීපාරක්ෂක දියර භාවිත කිරීමෙන් වළකින්න.
  • කහින විට හා කිවිසුම් යන විට ඔබේ මුඛය හා නාසය සෑමවිටම ආවරණය කර ගන්න. ඔබ කහින විට හා කිවිසුම් යවන විට ටිෂූ භාවිත කරන්නේ නම් ඒවා ආරක්ෂිත හා නිසි ක්‍රමවේදයකට ඉවත් කරන්න. එමෙන්ම ඊට පසුව නිසියාකාරව දෑත් සේදීමට මතක තබා ගන්න.
  • ඔබේ මුහුණ, කට, නාසය, කන් යනාදිය ස්පර්ශ කිරීමෙන් වළකින්න.
  • වෙනත් පුද්ගලයන් භාවිත කරන ලද කෝප්ප, පිඟන්, හෝ හැඳි ගෑරුප්පු ආදිය භාවිත කර ආහාරපාන ගැනීමෙන් වැළකින්න.
  • හිසකෙස් සම්පූර්ණයෙන් ආවරණය කරගත යුතුය. දිගු හිසකෙස් (කෙස් කළඹක්) ඇත්නම් එය ගැටගසා ගත යුතු අතර සම්පූර්ණයෙන් ආවරණය කරගත යුතුය.
  • ‘කොවිඩ්-19’ වයිරසයට විවිධ කාලපරාසවලදී විවිධ වර්ගයේ මතුපිටවල්වල රැඳී සිටීමට හැකි බව සැලකිල්ලට ගනිමින් ඕනෑම රාජකාරියකට/පැවරුමකට පෙර සියලු ආභාරණ සහ අත්ඔරලොසු ගලවා ඉවත් කරන්න.
  • ඔබ උපැස් යුවලක් පළඳින්නේ නම් නිරන්තරයෙන් උණුසුම් ජලය සහ සබන් යොදා එය පිරිසිදු කරන්න.
  • ඔබේ ඇස් ස්පර්ශ කිරීමෙන් ඔබට ආසාදනය වන අවස්ථා වැඩිවිය හැකි නිසා වෘත්තීය කටයුතුවල නිරත වීමේදී ස්පර්ශක කාච (කන්ටෑක්ට් ලෙන්සස්) පැළඳීමෙන් වළකින්න.
  • ඇතැම් රෙදිපිළිවලට වඩා පහසුවෙන් සමහර රෙදපිළි පිස දැමිමෙන් පිරිසුදු කළ හැකිය. ඒබැවින් ඔබ අඳින පළඳින රෙදිපිළි පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඕනෑම රාජකාරියකට පසුව සියලුම රෙදිපිළි සබන් කුඩු යොදා ඉහළ උෂ්ණත්වයක් යටතේ සෝදා හැරිය යුතුය.
  • හැකිනම් රාජකාරියේදී මුදල් භාවිත කිරීමෙන් වැළකින්න. නිරන්තරයෙන්ම ඔබේ ණයපත්/හරපත්, මුදල් පසුම්බිය හා/හෝ පසුම්බිය පිරිසිදු කරන්න. ඔබේ කලිසම් සාක්කුවලට දෑත් දැමීමෙන් හැකි තරම් වළකින්න.
  • ඔබ පැවරුමකට හෝ රාජකාරියකට ගමන් ආකාරය සහ නැවත පැමිණෙන ආකාරය සලකා බලන්න. ජනතාව වැඩියෙන් ගැවසෙන හෝ භාවිත කරන හෝ අවස්ථාවලදී පොදු ප්‍රවාහනය භාවිත කිරීමෙන් වැළැකී සිටින්න. ඉන් බැස යනවිට සෑම විටම මද්‍යසාර අඩංගු පිරිසුදුකාරකයකින් විෂබීජහරණය කරන්න. මද්‍යසාර අඩංගු පිරිසුදුකාරකයකින් දෑත් පිරිසුදු කරගන්න.
  • ඔබ පෞද්ගලික වාහනයක ගමන් කළ ද රාජකාරී කරන ආයතනයට අයත් වාහනයක ගමන් කළ ද වයිරසය ආසාදිත පුද්ගලයකුගෙන් වාහනය තුළ සිටින අනෙකුත් පිරිසට ද වයිරසය ආසාදනය විය හැකි බව සිහි තබාගන්න. වාහනය තුළට පිරිසුදු වාතාශ්‍රය ලැබෙන පරිදි රථයේ ජනේල විවෘත කර තබන්න. වාහනය තුළ සිටියදී මුඛ/මුහුණු ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් විමසිලිමත් වන්න.
  • වෙහෙසකාරී පුද්ගලයන් බොහෝ විට ඔවුන්ගේ සනීපාරක්ෂක පාලන කටයුතුවලදි අත්වැරදීම් කිරීමට ඇති (වෙහෙසව සිටින විට අත්වැරැදීම් වීමට ඇති ඉඩකඩ වැඩි බැවින්) සැලකිල්ලට ගනිමින් නියමිත කාල පරාසවලදී විවේක ගත යුතුය. වෙහෙස, විඩාව, තෙහෙට්ටුව මෙන්ම ශක්ති මට්ටම් පිළිබඳව ද සැලකිලිමත් වන්න. එවැනි පුද්ගලයන්ට මෙන්ම රාජකාරියේ නියුතු ඇතැම් පුද්ගලයන්ට රැකියාව සඳහා පැමිණීමටත් ආපසු යෑම සඳහාත් දිගු දුරක් රිය පැදවීමට සිදුවන අවස්ථා ඇත. එම නිසා ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

පෞද්ගලික වෛද්‍ය ආරක්ෂණ කට්ටල

මාධ්‍යවේදීන්ට සිය රාජකාරීයේ ස්වභාවය අනුව සුරක්ෂිත වාර්තාකරණයක් සඳහා යෝග්‍ය පෞද්ගලික වෛද්‍ය ආරක්ෂණ උපාංග/කට්ටල වර්ගයක් පැළඳීම අවශ්‍ය වේ. මීට බැහැර කළ හැකි අත්වැසුම්, මුව ආවරණ, ආරක්ෂිත ඒප්‍රන/උඩුකබා/බොඩිසූට් යනාදීය ඇතුළත් වේ.

පෞද්ගලික වෛද්‍ය ආරක්ෂණ කට්ටල/උපාංග පැළැඳීමේදී සහ ඉවත් කිරීමේදී ඒ සඳහා දැඩි පිළිවෙත් හා ඉතාමත් හොඳ යෝග්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානවල සාමාන්‍ය මාර්ගෝපදේශ මෙතැනින් ලබා ගත හැකිය. එක් උපකරණයකින් තවත් උපකරණයකට වයිසරය පැතිර යෑමේ අවදානම වැඩි බැවින්  පෞද්ගලික වෛද්‍ය ආරක්ෂණ කට්ටල/උපාංග ඉවත් කිරීමේදී/බැහැර කිරීමේදී ඉතා පරෙස්සම් විය යුතුය. යම් සැකයක් තිබේ නම් රාජකාරියකට යෑමට පෙර විශේෂඥ මාර්ගෝපදේශනයක් හා පුහුණුවක් ලබාගැනීමට උතසහ කරන්න.

බොහෝ රටවල තවමත් හොඳ තත්ත්වයේ පෞද්ගලික වෛද්‍ය ආරක්ෂණ උපකරණවල හිඟයක් තිබිය හැකිවීම හා/හෝ  ඒවා ලබාගැනීම දුෂ්කරය විය හැකිය. එබැවින් ඒවා භාවිත කිරීමෙන් හිඟයක් නිර්මාණය විය හැක.

  • ඔබ භාවිත කරන ඕනෑම පෞද්ගලික වෛද්‍ය උපකරණ කට්ටලයක් ඔබේ ප්‍රමාණයට (ඔබට සරිලන්නේ ද) සරිලන බව තහවුරු කරගන්න. නියමිත ප්‍රමාණයට වඩා විශාල නම් හෝ ඉතා කුඩා නම් ඔබේ සංචරණ සීමා කළ හැකිය. ඇතැම් විට ඒවා ඉරී යෑමට ද හැකියාව ඇත. ඇතැම් විට ඒවා දොර හැඬල හෝ වෙනත් දෑ වල පැටළීමට ද ඉඩ තිබේ. එම නිසා ඔබට අනතුරු සිදුවීමේ අවස්ථාවක් ද තිබේ.
  • අවශ්‍ය අවම ආරක්ෂිත නියමවලට අවධානය යොමු කරමින් සෑමවිටම හොඳම සන්නාමයක පෞද්ගලික වෛද්‍ය ආරක්ෂණ කට්ටල භාවිත කරන්න. කූට හා/හෝ ව්‍යාජ නිෂ්පාදන පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. ඇතැම් ප්‍රමුඛ හා වඩාත් ගෞරවයට පාත්‍රවු සන්නාම මෙහි දැක්වේ.
  • වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් සලසන ආයතන වැනි ආසාදිත ප්‍රදේශයක සේවය කරන්නේ නම් හෝ එවැනි ස්ථානයකට යන්නේ නම් ආරක්ෂිත අත්වැසුම් පළඳින්න. ස්වභාවික රබර් කිරිවලින් සාදන ලෙටෙක්ස් අත් වැසුම් වලට වඩා නයිට්‍රල් අත්වැසුම් උසස් ආරක්ෂිත තත්ත්වයකින් යුක්ත වේ. ආරක්ෂාව වඩිදියුණු කරන ලද අත්වැසුම් යුගලයක් පළඳින්න.
  • වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් සලසන ආයතන වැනි දැඩි අවදානමක් සහිත ස්ථානයක සිට වාර්තා කරන්නේ නම් ෆුල් බොඩි සූට් හා පරිපූර්ණ මුහුණු ආවරණ වැනි අතිරේක වෛද්‍ය පෞද්ගලික ආරක්ෂණ කට්ටල/උපාංග නිසැකවම අවශ්‍ය වනු ඇත.
  • ඔබ, ඔබේ සිරුර සම්පූර්ණයෙන් වැසෙන සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් පළඳින්නේ නම් ඊට පෙර වැසිකිළිය භාවිත කරන්න.
  • ඉවත දැමිය හැකි පාවහන් පළඳින්නේද නැතිනම් ජලය කාන්දු නොවන සපත්තු භාවිත කරන්නේද යන්න ඔබ සිදුකරන රාජකාරිය මත තීරණය වනු ඇත. ආසාදිත ස්ථානයෙන් ඔබ ඉවත්වු වහාම ඔබ මේ දෙකම පිසදා පිරිසුදු කළ යුතුය/පිරිසුදු දියෙන් සේදිය යුතුය. ඔබ ජලය කාන්දු නොවන සපත්තු භාවිත කරන්නේ නම් එම ස්ථානයෙන් යෑමට පෙර ඒවා ආරක්ෂිත ක්‍රමයකට බවත් කළ යුතුය.
  • සියලුම පෞද්ගලික වෛද්‍ය ආරක්ෂණ කට්ටල/උපාංග පැළඳීම හා ඉවත් කිරීම පුහුණු වෘත්තීයවේදියකුගේ අධීක්ෂණය යටතේ කළ යුතු බවට නිර්දේශ කර ඇත. මෙම අවස්ථාව වයිරසයට නිරාවරණය වන මොහොතක් විය හැකි බවට සිහි තබා ගත යුතුය. ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ මෙම වීඩියෝ පටය උපකාරී විය හැකි නමුත් පුහුණුවක්/අධීක්ෂණයක් සඳහා ආදේශකයක් ලෙස මෙම වීඩියෝ පටය භාවිත නොකළ යුතුය.
  • අත්වැසුම්, බොඩිසූට්, උඩ ඇඳුම්, සපත්තු හෝ පා ආවරණ හෝ කිසිවිටක නැවත භාවිතයට නොගත යුතුය. නැවත භාවිත කරන ඕනෑම උපකරණයක් නිසිලෙස සනීපාරක්ෂණය (විෂබීජහරණය කළ යුතුය/පිරිසුදු කළ යුතුය) කළ යුතුය. ආසාදිත ප්‍රදේශයෙන් ඉවත්වීමට පෙර පිරිසුදු නොකරන ලද සියලුම පෞද්ගලික වෛද්‍ය ආරක්ෂණ කට්ටල/උපාංග නිසි ක්‍රමවේදයකට ඉවත් කළ බව තහවුරු කරගන්න. 

මුව ආවරණ

සාමාන්‍ය මහජනතාව අතර සිට, සීමා සහිත ස්ථාන වල සිට හා/හෝ ඉහළ අවදානමක් ඇති ස්ථානවල සිට වාර්තාකරණයෙහි යෙදෙන මාධ්‍යවේදීන් නිසි පරිදි මුව ආවරණ පැළඳීම ඉතා වැදගත්ය. වයිරස් බිඳිති ඉඩ සීමා සහිත ස්ථාන වල එවැනි ස්ථාන වලදි සමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු අන්දමින් ඉහළ මට්ටමක තිබිය හැකි බැවින් ඔබ ආසාදිතයෙකු වීමේ ප්‍රවණතාවය ඉහළ යා හැකිය. ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

නිවැරැදිව භාවිත නොකළහොත් මුව ආවරණ වයිරසය ආසාදන මූලාශ්‍රයක් බවට පත්විය හැකි  බැවින් ඒ් පිළිබඳව පරික්ෂාකාරී විය යුතුය. ලාන්සෙට් (Lancet) හි ‘කොවිඩ්-19’ නවතම අධ්‍යනයකට අනුව නිරාවරණයෙන් පසු දින 7ක් දක්වා වයිරසය හඳුනාගත හැකි මට්ටමක් දක්වා සායනික මුහුණු ආවරණයක රැඳී තිබෙන පැවසේ. මෙම අධ්‍යනය මත පදනම් වූ විට මුහුණු ආවරණ පළඳින විට එය ඉවත් කිරීම, නැවත භාවිත කිරීම හෝ මුහුණ ස්පර්ශ කිරීමෙන් එය භාවිත කරන අවස්ථාවේදී මුහුණ ඇල්ලීමෙන් ද වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇති විය හැක.

මුව ආවරණයක් පළඳින්නේ නම් ඔබ පහත සඳහන් උපදෙස් අනුගමනය කළ යුතුය.

  • ඉඩකඩ සීමා  සහිත ස්ථානයක සිට, අනෙක් අයට ආසන්නයේ සිට හෝ වැඩි අවධානමක් සහිත ස්ථානයක සිට වාර්තාකරණය සිදු කරයි නම් සම්මත සායනික මුව ආවරණයක් වෙනුවට එන්95 මුව ආවරණයක් (හෝ FFP2/ FF3) මුඛ ආවරණයක් පැළැඳීමට නිර්දේශ කරයි.
  • හිඩැස් අවම කරමින්, නාසයේ මුල (the bridge of the nose) හා කම්මුල් මත මුහුණු ආවරණය ආරක්ෂිතව රැඳී (රඳවා) තිබෙන බව තහවුරු කර ගන්න.
  • මුව ආවරණය මුහුණට ඉතා හොඳින් තදට/හිරට තබා ගැනීම පිණිස මුහුණේ රෝම කූප ඉවත් කරන්න.
  • මුඛ ආවරණය නිතර මුහුණේ රඳවා තබාගැනීමත් එය නිසි පරිදි පැළැඳ සිටීමත් ඉතා වැදගත් වේ. මුඛ/මුහුණ ආවරණය ඉදිරිපසින් ඇල්ලීමෙන් වළකින්න. මුඛ/මුහුණු ආවරණය ස්පර්ශ කිරිමෙන් වළකින්න. ඒවායේ තිබෙන පටි භාවිත කිරීමෙන් පමණක් ඉවත් කරන්න. අත්‍යවශ්‍ය නම් පමණක් සීරුමාරුවට එය සකසාගන්න. මුඛ ආවරණය ඇල්ලූ විටකදී/ස්පර්ශ කළ විටකදී හොඳින් දෑත් පිරිසුදු කරගන්න.
  • එකම මුඛ ආවරණය නැවත නැවත භාවිත කිරීම ඉතා ඉහළ අවදානමක් සහිත ක්‍රියාවකි. භාවිත කරන මුඛ/මුහුණු ආවරණ භාවිත කර අවසන් වූ වහාම මුද්‍රා තබන ලද බෑගයකට/කසළ බඳුනකට බැහැර කරන්න.
  • මුඛ/මුහුණු ආවරණය ඉවත් කිරීමෙන් පසුව සබන් හා උණුසුම් ජලය සමග හෝ සියයට 60කට වඩා එතනෝල් හෝ සියයට 70 හෝ ඊට වඩා වැඩියෙන් අයිසෝප්‍රෝපනෝල් (Isopropanol ) මද්‍යසාර අඩංගු සනීපාරක්ෂක දියර යොදා දෑත් සෝදා හරින්න.
  • නව මුඛ/මුහුණු ආවරණයක් භාවිතයට ගන්න. තෙත් ගතිය/තෙත් වූ/ආර්ද්‍ර බවට පත්වූ වහාම නව, පිරිසුදු, වියළි මුහුණු ආවරණයක් පැළැදිය යුතුය.
  • මුඛ/මුහුණු ආවරණ පැළැඳීම යනු පෞද්ගලික ආරක්ෂාව සලසා ගැනීමේ එක් ක්‍රමවේදයක් පමණි. එම නිසා ඊට අමතරව සෑම විටම උණු වතුරෙන් සහ සබන්වලින් ඕබේ දෑත් සේදිය යුතුය. එමෙන්ම ඇස්, කට, කන් හා නාසය මෙන්ම මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතුය.
  • මුඛ/මුහුණු ආවරණ හිඟ විය හැකි බව සිහි තබාගන්න. ඔබ සිටින ස්ථානය අනුව ඒවායේ මිල ගණන් ද ඉහළ යා හැකිය.

උපකරණ වල සුරක්ෂිත බව

පිරිසිදු නොකළ උපකරණ හරහා ‘කොවිඩ්-19’ පැතිරීමේ සම්භාවිතාවක් පවතියි. විධිමත් පිරිසිදු කිරීමක් හා විෂබීජනාශක පද්ධතියක් සෑමවිටකම ක්‍රියාත්මක කොට පිළිපැදිය යුතුය.

  • ‘ක්ලිප් මයික්’ වෙනුවට ආරක්ෂිත දුරක සිට භාවිත කළ හැකි ‘ෆිෂ්පෝල්’ මයික්‍රෆෝන භාවිත කරන්න.
  • සෑම රාජකාරියක් අවසානයේදීම මයික්‍රොෆෝන ආවරණ ඩිටජන්ට් යොදා ඉහළ උෂ්ණත්වයක් යටතේ විෂබීජ නාශනය කොට සෝදා හැරිය යුතුය. එක් උපකරණයකින් තවත් උපකරණයකට විෂබීජ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ආරක්ෂිතව මයික්‍රෆෝන කවරය/ආවරණය ඉවත් කරන ආකාරය පැහැදිලි කරන උපදෙස් මාලාවක් සොයාගත යුතුය.  පිරිසිදු කිරීමට අපහසු විය හැකි නම් ‘වින්ඩ්මෆ්’ (wind muff) ආකාරයේ කවර භාවිත කිරීමෙන් වළකින්න.
  • හැකි සෑම තැනකදීම/අවස්ථාවකදීම අවම පිරිවැයකින් යුත් උපකන්/ඉයර්පීසස් භාවිත කරන්න. විශේෂයෙන් අමුත්තන් සඳහා ඒවා බැහැර කළ හැකි ලෙස සලකන්න. භාවිත කිරීමට පෙර හා පසු සියලුම උපකන්/ඉයර්පීසස් පිසදා විෂබීජහරණය (විෂබීජ ඉවත් කරන්න) කරන්න.
  • දුර දෘෂ්ටි/දිගු දුර කාච භාවිත කරන්න. සිටින ස්ථානයේදී ආරක්ෂිත දුරක් පවත්වා ගැනීමට එය උපකාරීවනු ඇත.
  • හැකි සෑමතැනම කේබල් සහිත උපකරණ නොව ජංගම උපකරණ භාවිත කරන්න.
  • රාජකාරියකදි ඔබගේ උපකරණ ගබඩා කරන ආකාරය පිළිබඳ සැලකිලිමත්වන්න. කිසිවක් අවට නොදමා සියලුම උපකරණ ඒවායේ ආවරණ/කවර තුළ බහා වසා දමන්න. (පිසදමා පිරිසිදු තබා ගැනීමට වඩාත් පහසු ගෙන යා හැකි ආවරණ/කවර)
  • හැකිනම් හා ප්‍රායෝගික නම් උපකරණය භාවිත කරන විට එය යම් ප්ලාස්ටික් දවටනයකින්/ආරක්ෂණයකින් ආවරණය කරන්න. මෙමගින් උපකරණයේ අපිරිසිදු විය හැකි මතුපිට කොටසේ ප්‍රමාණය අවම කර ගැනීමට හැකිය. එමෙන්ම මෙමගින් උපකරණ පිරිසුදු කර  විෂබීජහරණය කිරීම පහසු වනු ඇත.
  • සම්පූර්ණයෙන්ම ආරෝපණය කරන ලද/චාර්ජ් කරන ලද අමතර බැටරි රැගෙන යන්න. මෙය විෂබීජ පැතිරෙන අමතර ක්‍රමයක් වන බැවින් ඔබ යන ස්ථානයෙන් කිසිවක් ආරෝපණය කිරීම/චාර්ජ් කිරීම සිදු නොකරන්න.
  • මෙලිසටල් (Meliseptol) වැනි වේගවත් ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රති-ක්ෂුද්‍ර ජීවී නාශකවලින් පිස දැමීමෙන් උපකරණ පිරිසුදු කළ යුතුය. ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, ලීඩ්ස් (leads) ප්ලග් වර්ග, ඉයර්ෆෝන්, ලැප්ටොප් පරිගණක, දෘඩතැටි, කැමරා, මාධ්‍ය අවසරපත් සහ හැඳුනුම්පත් රඳවාගන්නා පටි (ලන්යාඩ්/ lanyards) යනාදිය මෙම උපකරණවලට ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ.
  • උපකරණ ආරක්ෂිත ලෙස පිරිසුදු කරන ආකාරය පිළිබඳව උපකරණ සඳහා වගකිවයුත්තන් කල්තියා දැනුවත් කරන්න. ඔවුන් ඒ සඳහා පුහුණු කර ඇති බව තහවුරු කරගන්න. උපකරණ සඳහා වගකිව යුතු පිරිස් කල්තියා දැනුවත් කර ඇති බවට හා උපකරණ ආරක්ෂිත ලෙස පිරිසුදු කරන ආකාරය පිළිබඳව ඔවුන් පුහුණු කර ඇති බව තහවුරු කර ගන්න. එම උපකරණ අදාළ ස්ථානලට ආපසු දෙන විට නැවතත් පිරිසුදු කළ යුතුය.  කිසිදු උපකරණයක් පිරිසුදු කිරීමකින් දමා නොයන බව තහවුරු කරන්න. අත්සන් කිරීමකින් තොරව හා කිසිදු පරෙස්සමකින් තොරව උපකරණ හා මෙවලම් තබා නොයෑම තහවුරු කරන්න. ඒ සඳහා පිරිසුදු කරන පුද්ගලයාට අදාළ මෙවලම් හා උපකරණ අත්සනක් යොදා බාරදෙන්න.
  • ඔබේ රාජකාරීය සඳහා වාහනයක් භාවිත කරන්නේ නම් ඉතා හොඳින් පුහුණුව ලත් පිරිසක් පැවරුම අවසන් වීමෙන් වාහනය ඇතුළත හොඳින් පිරිසුදු කරන බව තහවුරු කරන්න. වාහනයේ දොරවල්, ඒවායේ හැඬල (අල්ලු), සුක්කානම, ගියරය, අත් තිරිංග ලීවරය, පැති කණ්ණාඩි යනාදිය, හිස රැඳවුම්, ආසන පටි, ඉදිරිපස පුවරුව (ඩෑෂ්බෝඩ්) සහ ජනේලය උස් පහත කරන හැඬල (අල්ලු), බොත්තම් වැනි ස්පර්ශ කරනු ලබන පොදු දෑ විශේෂයෙන් පිරිසුදු කළ යුතුය. ඒවාට විශේෂ අවධානයක් දිය යුතුය.‍‍

විද්‍යුත්/විදුලි උපකරණ පිරිසුදු කිරීම

විද්‍යුත්/විදුලි උපකරණ පිරිසුදු කිරීම සාමාන්‍ය මාර්ගෝපදේශ කිහිපයක් පහතින් දක්වා ඇත. පිරිසුදු කිරීමට උත්සාහ කිරීමට පෙර සෑම විටම නිෂ්පාදන සමාගමේ (අදාළ උපකරණ නිෂ්පාදකයාගේ) මාර්ගෝපදේශ කියවීමට වග බලාගන්න.

  • සෑම විටම උපකරණ, විදුලිය ලැබෙන පේනුවලින් ගලවා ඉවත් කරන්න. (උපකරණ/කේබල්)
  • දියර වර්ග මෙම උපකරණවලින් ඈත් කර තබන්න. කිසිදු විටෙක ඒවා ඒ සමීපයෙන් නොතබන්න. දියර ඉසින, දියර පිරිසුදුකාරක යනාදිය භාවිත නොකරන්න. ඒවා භාවිත කිරීමෙන් උපකරණවලට හානි සිදුවිය හැක.
  • කිසිදු අවස්ථාවක කිසිදු ද්‍රව්‍යයක් සෘජුව එම උපකරණ පිරිසුදු කිරීමට හෝ පිසදැමීමට භාවිත නොකරන්න.
  • කිසිදු අවස්ථාවක උපකරණ සිරීමකට ලක් කරන ද්‍රව්‍ය හෝ රෙදි කැබලි භාවිත නොකරන්න. උපකරණ පිරිසුදු කිරීම සඳහා මෘදු යමක් භාවිත කරන්න.
  • පිරිසුදු කිරීමට සඳහා යොදා ගන්නා රෙදි කැබල්ල හෝ වෙනත් යමක් භාවිත කළද ඒවා භාවිත කළ යුත්තේ තෙත මාත්තු කිරීමෙන් පසුවය. එහි තෙත ගතිය අඩු කිරීමෙන් පසුවය. පිස දැමීමට භාවිත කරන රෙද කඩද සබන් යොදා එහි සිය අතින් මිරිකා තෙත් ගතිය අඩු කිරීමෙන් පසු උපකරණ පිරිසුදු කිරීම සඳහා භාවිත කරන්න.
  • උපකරණ කිහිපවිටක්ම පිසදා පිරිසුදු කරගන්න.
  • උපකරණ තුළට දියර නොයන සේ පිරිසුදු කරගන්න. විශේෂයෙන්ම යතුරුපුවර, ආරෝපණ කෙවෙනි (charging sockets, earphone sockets, keyboard) යනාදිය තුළ තෙතමනය නොරැඳෙන සේ එම උපකරණ හොඳින් පිරිසුදු කරගත යුතුය.
  • උපකරණ පිරිසුදු කරගැනීමෙන් අනතුරුව ඒවා පිසදා ගැනීම සඳහා පිරිසුදු මෘදු වියළි රෙදි කැබැල්ලක් භාවිත කරන්න.
  • ඇතැම් නිෂ්පාදකයෝ ඕනෑම දැඩි මතුපිටක් සහ තෙත උරානොගන්නා මතුපිටක් සඳහා ඉසිප්‍රොපිල් මද්‍යසාර (isopropyl alcohol) සියයට 70ක් භාවිත කරන්නැයි නිර්දේශ කරති.
  • ඔබේ උපකරණ පිරිසුදු කිරීමට පෙර සෑමවිටම නිෂ්පාදකය දී ඇති උපදෙස් මොනවාදැයි හොඳින් විමසා බලන්න. ඇතැම් විට විෂබීජ ඉවත් කිරීමට භාවිත කරන පිරිසුදුකාරකවලින් ඔබේ උපකරණවලට හානි සිදුවිය හැක.  

ඩිජිටල් සුරක්ෂිතභාවය

  • ‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වාර්තාවලට අදාළව අන්තර්ජාලය ඔස්සේ විවිධ සතුරු තර්ජනවලට මුහුණදීමට සිදු වේ. මෙවැනි අයථා භාවිතයන් ප්‍රති එන්නත් කණ්ඩායම්ගෙන් හෝ මුව ආවරණ පැළඳීමට විරැද්ධ පුද්ගලයන්ගෙන් පැමිණිය හැකිය. එවැනි ප්‍රහාරවලින් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) සපයා ඇති ඉතා හොඳ සහ ඉහළ පුහුණුව සහ පිළිවෙත් නැවත විමසා බලන්න.
  • ආණ්ඩු සහ තාක්ෂණික සමාගම් ‘කොවිඩ්-19’ ව්‍යාප්තිය නිරීක්ෂණය කිරීමේ ක්‍රමයක් ලෙස සෝදිසි කිරීම් (surveillance) භාවිත කරයි. ‘ද සිටිසන් ලැබ්’ (The Citizen Lab) අනුව ‘එන්.එස්.ඕ’ (NSO) කණ්ඩායමට ඊට අයත් වේ. ‘පෙගාසස්’ (Pegasus) මෘදුකාංගය නිර්මාණය කරන ලද්දේ එම කණ්ඩායමයි. එය මාධ්‍යවේදීන් ඉලක්ක කරගැනීම සඳහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි. මෙම සෞඛ්‍ය අර්බුදය අවසන් වූ පසුව පුද්ගලයන් ඉලක්ක ගත කිරීම සඳහා මෙම සෝදිසි හෙවත් නිරීක්ෂණ තාක්ෂණ (Surveillance techniques) භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විමසිල්ලෙන් පසු වේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය (Transparency International) මෙවැනි ගෝලීය ප්‍රවණතා සහ වර්ධනය වීම් සම්බන්ධයෙන් සොයාබලමින් ඒවා ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා වාර්තා කරයි.
  • වාර්තාවලට අනුව එන්නත්කරණය සම්බන්ධ වංචා සුලභ වීමත් සමග අපරාධකරුවන්  පුද්ගලයන් හා සංවිධාන ඉලක්ක කිරීමට පවතින සෙෳඛ්‍ය අර්බුදය භාවිත කරනු ලැබේ. ‘කොවිඩ්-19’ හෝ එන්නත්කරණය පිළිබඳ තොරතුරු ඇතුළත් සබැඳි/ලින්ක් (link) වෙත ප්‍රවේශ වීමට පෙර සහ ඊට අදාළ ලිපිගොනු/ලියැවිලි භාගත (ඩවුන්ලෝඩ්) කිරීමට පෙර මදක් සිතා බලන්න. Electronic Frontier Foundation නමැති කණ්ඩායමට අනුව ඔබේ උපාංගවලට වයිරස ඇතුළත් (මැල්වෙයාර්- Malware)- මෘදුකාංගය ඇතුළත් කළ හැකිය. සමාජ මාධ්‍ය තුළ හෝ පණිවුඩ හුවමාරු කරගන්න මෘදුකාංගවල (ඇප්ස් -Messaging App )  ‘කොවිඩ්-19’ සම්බන්ධව තිබිය හැකි කිසිදු සබැඳිවලට ප්‍රවේශ වීමේදී සැලකිලිමත් වන්න. ඒවායින් ඇතැම් ඒවා ඔබේ උපාංග වයිරස සහිත මෘදුකාංග (මැල්වෙයාර්) ඇති වෙබ් අඩවිවලට යොමු කරනු ඇත.
  • රාජ්‍ය අනුග්‍රහය යටතේ දුස් තොරතුරු (නොමඟ යැවීම සඳහා වුවමනාවෙන් සපයන වැරැදි තොරතුරු) මෙන්ම සාමාන්‍ය දුස් තොරතුරු සම්බන්ධයෙන් ද විමසිලිමත් වන්නැයි ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අනතුරු අඟවා ඇත. බී.බී.සී. මෙය විශේෂයෙන් ඉස්මතු කර පෙන්වා දී ඇත. බී.බී.සී. ය ඉස්මතු කර ඇති දේවල් සම්බන්ධයෙන් පරීක්ෂාකාරී වන්න. ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියේ අසත්‍ය/වැරැදි පුවත් අනාවරණය කරන Myth Buster Guide මාර්ගෝපදේශයක් දක්වා ඇත. එයින් මහජනතාව දැනුවත් කෙරේ.
  • ඔන්ලයින්/අන්තර්ජාලය හරහා වන සම්මන්ත්‍රණ හා ප්‍රයිවසි ඉෂූස්/පෞද්ගලික (privacy issues) කරුණු පිළිබඳ කියවන්න. මෙම සේවා ඔබේ තොරතුරු සමග කුමක් සිදුකරන්නේද, ඔවුනට ප්‍රවේශය ඇත්තේ කුමකටද, හා ඔවුන් කෙතරම් ආරක්ෂිතද යන්න පිළිබඳව එවිට ඔබ දැනුවත් වේ. නිවසේ සිට සේවය කරන පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීමත් සමග එම සේවා හැකර්කරුවන්ගේ ඉලක්ක බවට පත්වනු ඇත.
  • ඒකාධිපති රෙජීමයක් සහිත රටවල සිට ‘කොවිඩ්-19’ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීමේදී ඇති විය හැකි අවදානම් සහගත තත්ත්ව සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතුය. එවැනි රටවල සිට වාර්තා කිරීමේදී පාලන තන්ත්‍රවල දැඩි හා සමීප නිරීක්ෂණයටත් අධීක්ෂණයටත් ලක්විය හැක. මාධ්‍යවේදීන් සුරක්ෂා කිරීමේ කමිටුව පෙන්වා දී ඇති පරිදි ‘කොවිඩ්-19’ වයිරසයේ සත්‍ය තොරතුරු, සංඛ්‍යා දත්ත සැඟවීමටත් මාධ්‍ය වාරණය කිරීමටත් එවැනි ආණ්ඩු උත්සාහ කරනු ඇත.

රාජකාරී කිරීමේදී අපරාධ හා භෞතික/කායික ආරක්ෂාව

  • ඔබ විදේශ පැවරුමකට/රාජකාරියකට සහභාගී වන්නේ නම් (පහත බලන්න) ඔබ යන ස්ථානයේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක යෙදෙන්න. මේ වනවිට කලබලකාරී හා නොසන්සුන් තත්ත්වවල ප්‍රමාණය අඩු වී තිබේ. වසංගතය ආරම්භයේ සිට ලොව බොහෝ තැන්වල කඩින්කඩ සහසික සිදුවීම් හා විරෝධතා වාර්තා විය. ඇතැම් මාධ්‍යවේදීන්ට වාචික හිරිහැර හා සාපරාධී ප්‍රහාර එල්ල කර ඇත. එබැවින් ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන්න.
  • ග්‍රාමීය ප්‍රදේශයක සිට වාර්තා කරන්නේ නම් විශේෂයෙන් පරෙස්සම් විය යුතුය. ඔබ  ආසාදිත පුද්ගලයකු විය හැකිය යන බිය නිසා ජනතාව (ගම්වාසීන්, ප්‍රදේශවාසීන්) පිටස්තර පුද්ගලයන් සම්බන්ධයෙන් සැක කළ හැකිය හා/හෝ සතුරැ විය හැකිය.
  • ‘කොවිඩ්-19’ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති ‘ලොක්ඩවුන්’ හෙවත් සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගවලට අදාළව  කායික අඩත්තේට්ටම් හා කඳුළු ගෑස් භාවිත කිරීම යනාදි වශයෙන් පොලිසියෙන් දැඩි ප්‍රතිචාර ලැබිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වන්න.
  • මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) විශේෂයෙන් පෙන්වා දී ඇති පරිදි ‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඒකාධිපති පාලන තන්ත්‍ර/රෙජීම සහිත රටවල සිටින මාධ්‍යවේදීන් රඳවා ගැනීමේ (රැඳවුම්භාරයට පත්වීමේ) සහ අත්අඩංගුවට ගැනීමේ තර්ජන සම්බන්ධයෙන් අවදියෙන් සිටිය යුතුය.

ජාත්‍යන්තර/විදෙස් පැවරුම්

ගෝලීය සංචාරක සීමා හේතුවෙන් ජාත්‍යන්තර ගමනාගමනය, සංචාර හා සංචලනය තවදුරටත් දුෂ්කර හා අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව ඇත. ඔබට ජාත්‍යන්තර/විදෙස් පැවරුම් සඳහා සහභාගී වීමට සිදුවේ නම් පහත කරුණු පිළිබඳ සලකා බලන්න.

  • ඔබ යෑමට අදහස් කරන ගමනාන්තයට අදාළව දැනට පවතින හා/හෝ ඉදිරියේදී  පැනවීමට නියමිත තහනම්/නියෝග සහ සීමා සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන්න.
  • ලොක්ඩවුන් සීමා සහ/හෝ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන්න. එකම රටක වුවද තැනින් තැනට මෙම සීමා වෙනස් වේ. මෙම තත්ත්වය එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලදී මෙම තත්ත්වය දැක ගන්නට ලැබිණි. කෙටි දැනුම්දීමකින් හෝ කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ එම සීමා වෙනස් විය හැක. එබැවින් රටේ සංචරණ සීමා සම්බන්ධ පුවත් දැන ගැනීම සඳහා දේශීය මූලාශ්‍ර පිළිබඳව සැලකිලිමත් වන්න.
  • ඔබ යන රට හා ඔබ අපාසු යන ස්ථානය මත පදනම්ව ආපසු පැමිණිමෙන් පසු නිරෝධායනය වන පියවර කෙටි දැනුම්දීමකින් හෝ කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ හඳුන්වා දිය හැකිය/ වෙනස් කළ හැකිය.
  • ඔබ සිටින ප්‍රදේශයේ ඇති/ක්‍රියාත්මක සියලු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන මොනවාදැයි හඳුනාගන්න. කෙටි දැනුම්දීමකින් හෝ කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවල/වැඩවර්ජනවල නිරත විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
  • වෛද්‍ය පෞද්ගලික උපකරණ කට්ටල/උපංගවල සීමිත විය හැකිය, නොමැති විය හැකිය හා/හෝ ගුණාත්මකභාවය සැක සහිත විය හැකිය.  ඕනෑම පැවරුමකට/රාජකාරියකට පෙර ඒ සම්බන්ධයෙන් සොයා බලන්න. අවශ්‍ය නම් ඔබට අවශ්‍ය සැපයුම් රැගෙන යන්න/ළඟ තබාගන්න.
  • පහසුවෙන් උත්සහා කළ හැකි නම් රාජකාරියට යෑමට පෙර කොවිඩ් ඒන්නත ලබා ගන්න. ප්‍රමාදවීමේ අවදානමකින් තොරව ඔබේ ගමනාන්තය සඳහා අදාළ සියලුම එන්නත් හා රෝග නිවාරණ කටයුතු කලට වේලාවට සිදුව ඇති බව එනම් ඒ සියල්ල යාවත්කාලීන වී ඇති බව තහවුරු කරගන්න.
  • ඇතැම් විට ‘කොවිඩ්-19’ ආශ්‍රිත ගමන් බිමන්වලට රක්ෂණාවරණ ලබාගත නොහැකි බැවින් ඔබේ සංචාරක රක්ෂණ ඔප්පුව පරීක්ෂා කරන්න. බොහෝ ආණ්ඩු විදෙස් ගමන්වලට එරෙහිව විවිධ මට්ටම් වල සංචාරක උපදෙස් හා අනතුරු ඇඟවීම්නිකුත් කර ඇත.
  • බොහෝ රටවල යම් සහ නිශ්චිත ප්‍රමාණයකට වඩා සහභාගි වන අවස්ථා හෝ මහජන රැස්වීම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව සැලකිල්ලට ගනිමින් ඔබ සහභාගීවීමට සැලසුම් කර ඇති අංගය, ඉසව්ව, පැවරුම යනාදියේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයාබලන්න.
  • තවමත් ලොව පුරා දේශ සීමා බොහෝමයක් වසා දමා ඇත. නැවත විවෘත කරන දේශසීමා වුවද කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව වසා දැමීමේ හැකියාවක් ද පවතී. එම නිසා ඔබේ හදිසි එසේත් නැතිනම් දෙවැනි සැලැස්ම (ප්ලෑන් බී) සැකසීමේදී ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන්න.  
  • ඔබ රෝගී තත්ත්වයකින් සිටී නම් සංචාරය නොකළ යුතුය. බොහෝ ජත්‍යන්තර හා කලාපීය ගුවන් තොටුපොළවල් මෙන්ම අනෙකුත් ප්‍රවාහන මධ්‍යස්ථාන දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරයි. කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කර බලයි.
  • පුවත් වාර්තාකරණයට අනුව ‘කොවිඩ්-19’ වයිරසය ගුවන් සමාගම් විශාල ප්‍රමාණයකට සැලකිය යුතු ආර්ථික පීඩනයක්/ව්‍යසනයක් ඇති කර ඇත.  එම නිසා සම්පූර්ණයෙන්ම නැවත පියවාගත හැකි ගුවන් ටිකට්පත් මිලට ගැනීම සම්බන්ධයෙන් සලකා බලන්න.
  • ඔබේ ගමනාන්තයට අදාළව පවතින නවතම වීසා තත්ත්වය පිළිබඳ සොයා බලන්න. රටවල් විශාල සංඛ්‍යාවක් වීසා නිකුත් කිරීම නතර කර ඇත.
  • ඔබ යන රටට ඔබට ‘කොවිඩ්-19’ වැළැඳී නැති බවට තහවුරු කිරීමට වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණයක් සිදු කර ගන්න. උදාහරණ කිහිපයක් මෙහි දැක්වේ.
  • ලොව පුරා ගුවන් තොටුපොළවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්  ‘කොවිඩ්-19’ පරීක්ෂා කිරීම්, උෂ්ණත්වය පරීක්ෂා කිරීම යනාදිය සිදු වේ. බොහෝ ස්ථානවල එම ක්‍රියාමාර්ග අනුගමනය කරයි. එම නිසා පහසුවෙන් වෙනස් කළ හැකි/නම්‍යශීලි හා පහසු ගමන් මාර්ග පවත්වා ගනිමින් ලොව පුරා ගුවන්තොටුපොළ සඳහා අමතර කාලයක් ලබාදෙන්න.  මෙය ඇතැම් දුම්රිය ස්ථානවලට, වරායවලට හා දිගු දුර බස්  නැවතුම්පොළ වලට ද අදාළ වේ. 

පශ්චාත් පැවරුම්/කාර්යය/සේවාව

  • රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දැයි සොයා බැලීම සඳහා අඛණ්ඩව ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසිලිමත් වන්න.
  • අධි අවදානම් ස්ථානයක සිට පැමිණිමෙන් පසු, ඔබ ස්වයං නිරෝධායන / හුදෙකලා වීම අවශ්‍ය හෝ ඒ සඳහා අවශ්‍යතාවක් පැන නඟී. එම නිසා ඊට අදාළව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඊට අදාළව රජය නිකුත් කර ඇති උපදෙස් මොනවාදැයි විමසා බලන්න.
  • ‘කොවිඩ්-19’ පිළිබඳ නවතම යවත්කාලීන කිරීම් තොරතුරු මෙන්ම ඔබේ ගමනේ ආරම්භක ස්ථානය සහ ගමනේ අවසන් ස්ථානය යන දෙකේදීම ක්‍රියාත්මක වන නිරෝධායන සහ ස්වයං-නිරෝධායන (හුදෙකලා) ක්‍රියාමාර්ග පිළිබඳ විමසිලිමත්වන්න.
  • ඔබ සිටින රටේ ආසාදිත අනුපාතය මත පදනම් වෙමින්, ඔබ නැවත පැමිණීමෙන් පසු දින 14ක් දක්වා ඔබ සමීපයේ සිටින පුද්ගලයන්ගේ නම් හා ආශ්‍රය කළ සංඛ්‍යාව සහිත ජර්නලයක් පවත්වා ගෙන යෑමට ඔබ සැලකිලිමත් විය යුතුය. ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔබ සබඳතා පැවැත්වූ පුද්ගලයන් සේවීම සඳහා මෙම ජර්නලය උපකාරී වනු ඇත.

ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්

  • ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ, ඉතා කෙටි රෝග ලක්ෂණ වුවද ඔබේ කළමනාකාරීත්ව මණ්ඩලයට එය දන්වා, ඔබ සේවය අවසන් කළ ස්ථානයේ සිට ඔබේ නිවසට සුදුසු ප්‍රවාහන සේවයක් ලබා ගැනීමට කටයුතු කරන්න. සාමාන්‍ය කුලී රථයක් භාවිත නොකරන්න.
  • ඔබ සහ ඔබේ ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ රෝග පාලන හා නිවාරණ සඳහා වු මධ්‍යාස්ථානවල හෝ දේශීය සෞඛ්‍ය අධිකාරීන්/බලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපදින්න.
  • ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භ වු පසු අඩු තරමින් දින 7 ක් හෝ නිවසේ රැඳී සිටින්න. එසේ කිරීමෙන් ඔබ ආසාදිතයකු වන විට ඔබේ ප්‍රජාවේ අනෙකුත් පුද්ගලයින් ආරක්ෂා කළ හැක.
  • ඉදිරිය සැලසුම් කර අන් අයගේ සහාය ඉල්ලා සිටින්න. ඔබට අවශ්‍ය සැපයුම් ගෙනැවිත් දෙන්නැයි සේවා යෝජකයාගෙන්, යහළු මිත්‍රයන්ගෙන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් උපකාර ඉල්ලා සිටින්න. ඒවා ඔබේ ගේදොරකඩ තබා යන මෙන් ඉල්ලා සිටින්න.
  • ඔබ නවාතැන් ගන්නා ස්ථානය අනෙක් පුද්ගලයන් සමග බෙදා ගන්නේ නම්, සියලුදෙනාම නිරෝධායනයට ලක්විය යුතුය. මීට අදාළ ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් මෙහි සොයා ගත හැකිය. එක් අයකුගෙන් තවත් අයකුට වැළැඳීම වැළැක්වීම සඳහා නාන කාමර, වැසිකිළි, හා මුළුතැන්ගෙය භාවිත කරන විට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.  
  • හැකි සෑම අවස්ථාවකදීම නිවසේ අනෙකුත් සාමාජිකයන්ගෙන් අවමය මීටර 2 ක් ඈතින් සිටින්න. ඒමෙන්ම හැකි සෑමවිටම තනිව නිදාගන්න. 

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ ආරක්ෂිත කට්ටලය මඟින් මාධ්‍යවේදීන්ට සහ කර්තෘමණ්ඩලවලට , විකාශන ස්ථානවලට සිවිල් කලකෝලහල, මැතිවරණ යනාදීය වාර්තාකරණයේදී කායික, මානසික සහ ඩිජිටල් ආරක්ෂාවට සම්බන්ධ ආරක්ෂිත මූලාශ්‍ර සහ මෙවලම් මෙන්ම මූලික ආරක්ෂක තොරතුරු සපයයි.