Kashmiri journalists hold placards and protest against 100 days of internet blockade in the region in Srinagar, Indian controlled Kashmir, Tuesday, Nov. 12, 2019. Internet services have been cut since Aug. 5 when Indian-controlled Kashmir's semi-autonomous status was removed. (AP Photo/Mukhtar Khan)

ඩිජිටල් ආරක්ෂාව – අන්තර්ජාලය වසා දැමීම්  

අන්තර්ජාල වසා දැමීම් මගින් මාධ්‍ය නිදහසට බරපතල ප්‍රතිවිපාක ඇතිකර මාධ්‍යවේදීන්ට සිය රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට දැඩි ලෙස බාධා පමුණුවන බව සීපීජේ සංවිධානය සොයාගෙන ඇත. අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීම හෝ එතුළට පිවිසීම සීමා කිරීම මගින් මාධ්‍යවේදීන්ට සිය මූලාශ්‍රයන් සමග සම්බන්ධ වීමට හෝ දත්ත වළ සත්‍ය අසත්‍යතාව ගැන සොයා බැලීමට නොහැකි වන අතර යම් සිදුවීමක් සිදුව අවසන් වන තෙක් ප්‍රවෘත්තියක් වාර්තා කිරීමටද නොහැකි වනු ඇත. ගැටුම් තිබෙන අවස්ථා, දේශපාලනික අස්ථාවරත්වයක් පවතින අවස්ථා  හෝ මැතිවරණ සමයක මෙවන් වසා දැමීම් සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ඇක්සෙස් නව් (Access Now) සංවිධානයේ නිරීක්ෂකයන්ට අනුව මෙවන් වසා දැමීම් මගින් ජනතාවට තොරතුරු ලබා ගැනීමට ඇති අවස්ථා සීමා කිරීමට රජයන් ක්‍රියා කරයි.

විවිධ වර්ගයේ අන්තර්ජාල වසා දැමීම් ඇති අතර ඒවා රටක් පුරාවට හෝ ඇතැම් කලාප වළට පමණක් සීමා වී ක්‍රියාත්මක විය හැක. සම්පුර්ණ වසා දැමීමකට ලක් වන මාධ්‍යවේදීන් පූර්ණ අන්තර්ජාල හා විදුලි සංදේශ බිඳ වැටීමක් අත් දකියි. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට අන්තර්ජාලයට පිවිසීමට හෝ ස්ථාවර දුරකථන මාර්ගයෙන් හෝ ජංගම දුරකථන මාර්ගයෙන් අන් අය සමග සම්බන්ධ විය නොහැකි බවයි. යූටියුබ් හෝ සන්නිවේදන ඇප්ස් වැනි විශේෂිත වූ වෙබ් පිටු හෝ සේවා අවහිර කරන ලෙස රජයන් අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝග කළ හැක. අර්ධ වසා දැමීමකදී මාධ්‍යකරුවන්ට අන් අය සමග සන්නිවේදනයේ යෙදීමට හෝ අන්තර්ජාලයට කිසිවක් අප්ලෝඩ් කිරීමට බාධා සිදුවිය හැක.

අන්තර්ජාලය පාළනය කිරීමේ තවත් උපක්‍රමයක් වන්නේ අන්තර්ජාල වේගය අඩු කිරීමයි. මෙමගින් අන්තර්ජාලය සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය වී කිසිදු වෙබ් පිටුවකට පිවිසීමට හෝ යම් අන්තර්ගතයක් අප්ලෝඩ් කිරීමට නොහැකි වනු ඇත. 

සියලු අන්තර්ජාල වසා දැමීම් සමග කටයුතු කිරීමේදී පෙර සූදානම අතිශයින් වැදගත් වේ. අන්තර්ජාල වසා දැමීම් පිළිබද සැලකිල්ලෙන් සිටිනා මාධ්‍යවේදීන් හට පහත සඳහන් තොරතුරු වැදගත් වනු ඇත.

සාමාන්‍ය ඩිජිටල් ආරක්ෂණ යහපත් භාවිතාවන්

වසා දැමීමකට පෙර යහපත් ඩිජිටල් ආරක්ෂණ භාවිතාවන් ස්ථාපිත කිරීම මගින් අන්තර්ජාල වසා දැමීමක් අතරතුර වඩාත් සූදානම්ව හා ආරක්‍ෂිතව වාර්තාකරණයේ යෙදීමට ඔබට හැකි වනු ඇත.

  • එවන් වසා දැමීමක් අතරතුර වාර්තාකරණයේ යෙදීමේදී ඔබව රඳවා තබා ගතහොත් ඔබ සහ ඔබේ මූලාශ්‍ර වඩාත් හොඳින් ආරක්ෂා කිරීම සඳහා ඔබේ උපාංග ආරක්‍ෂිත කර ඒවාහි ඇතුළත් තොරතුරු සීමා කරන්න.

  • අන් අය සමග සම්බන්ධ වීමට දෙඅන්තයෙන්ම ගුප්ත කේතනය කරන ලද (end-to-end encrypted) පණිවුඩ ඇප්ස් යොදා ගන්න. දෙඅන්තයෙන්ම ගුප්ත කේතනය යන්නෙන් අදහස් වන්නේ දුරකථන ඇමතුම් ඇතුළු එම ඇප්ස් මගින් යවන සියලු අන්තර්ගතයන් ගුප්ත කේතනය කර තිබෙන නිසා ඒවා අතරගමගදී අල්ලා ගැනීමට නොහැකි බවයි. මේවාට උදාහරණ ලෙස වට්ස්ඇප්, සිග්නල් ඇප්ස් දැකිවිය හැක. මෙම සමාගම් වළට පණිවුඩ වළ අන්තර්ගතයන් වෙත පිවිසිය නොහැකි අතර එබැවින් එම සමාගම් වළින් තොරතුරු ඉල්ලා රජයන් වළට සිතාසි නිකුත් කළ නොහැක.

  • සීපීජේ සංවිධානයේ ඩිජිටල් ආරක්ෂණ කට්ටලය මගින් උපාංග ආරක්ෂාව හා ගුප්ත කේතන සන්නිවේදනය පිළිබද වැඩි විස්තර දැනගන්න.

අන්තර්ජාල වසා තැබීම් වළට සූදානම් වීම

  • අන්තර්ජාල හෝ පණිවුඩ වසා දැමීමක් සිදුවිය හැකි අවස්ථා ගැන සලකා බලන්න. සිවිල් කෝලාහල අතරතුර, විරෝධතා, සහ මැතිවරණ කාලයන් ඒවාට ඇතුළත් වේ. ඔබේ රටේ ඇතැම් කලාප වෙනත් ප්‍රදේශ වළට වඩා අන්තර්ජාල පහසුකම් සීමා කිරීම් වළට ලක්විය හැක.

  • අන්තර්ජාලය හා වෙනත් සන්නිවේදන මාධ්‍ය වළට පිවිසීම වාරණය කිරීමට රජයන්ට හැකිවන නීති පිළිබද සැලකිලිමත් වන්න. ඔබ කලාපයේ අනෙක් රටවල රජයන් අන්තර්ජාල හා සන්නිවේදන මාධ්‍ය වළට පිවිසීම වසා දැමීම සඳහා කුමක් හෝ කරන්නේදැයි අවධානයෙන් සිටින්න.

  • පූර්ණ වසා දැමීමක් සිදුවූ අවස්ථාවක් සම්බන්ධයෙන් සැලසුම් කිරීම ගැන ඔබේ ප්‍රවෘත්ති මැදිරිය හා සගයන් සමග සාකච්ඡා කරන්න. එකිනෙකා හමුවෙන්නේ කොහෙදීද, කවදාද යන්න ගැනත්, අන්තර්ජාලය යොදා නොගනිමින් ඔබේ ප්‍රවෘත්ති කතෘවරුන්ට තොරතුරු යොමු කරන්නේ කෙසේද යන්න පිළිබද සැලැස්මක් සකස් කරන්න. ස්ථාවර දුරකථන අංක හුවමාරු කර ගැනීම ගැන සලකා බලන්න. නමුත් ස්ථාවර දුරකථන ආරක්‍ෂිත නොවන බවත් සංවේදී තොරතුරු හුවමාරු කර ගැනීමට ඒවා භාවිතා නොකළ යුතු බවටත් මතක තබා ගන්න. වසා දැමීමකට ලක්වන කලාපයක හෝ ප්‍රදේශයක ජීවත් වන හෝ රාජකාරී කරන ඔබේ සගයන් හට ආධාර කරන්නේ කෙසේදැයි සැලසුම් කරන්න.

  • වසා දැමීමකට පෙර, ඔබට අවශ්‍ය විය හැකි ලියවිලි හෝ වෙනත් අන්තර්ගතයන් වෙබ් පිටු වළින් ගෙන මුද්‍රණය කරන්න.

  • වසා දැමීමකදී දත්ත ගබඩා කර හැකිවන පරිදි ඔබේ කාර්ය මණ්ඩලයට යූඑස්බී ඩ්‍රයිව්ස් සහ සීඩී තැටි ලබා දෙන්න.

සුදුසුම උපාංග තෝරා ගන්න

අන්තර්ජාල උපාංග සහ සේවා ආරක්ෂක බිඳ දැමීම් වළට ලක් කිරීමේ අවධානමක් ඇත. විශේෂයෙන් පණිවුඩ ඇප්ස් වැනි සන්නිවේදන උපාංග භාවිතයේදී මාධ්‍යවේදීන් නවතම ඩිජිටල් ආරක්ෂණ තොරතුරු පිළබද දැනුවත් වන ලෙසට උපදෙස් දෙනු ලැබේ. 

  • අර්ධ වසා දැමීමකදී, අවහිර කරන ලද වෙබ් පිටු වෙත ඔබට යොමුවීමට සහාය වීම සඳහා වීපීඑන් ජාලයක් (VPN) බාගත කරගෙන ස්ථාපිත කරන්න. අන්තර්ජාල සේවා සපයන්නන් නිතරම වීපීඑන් ජාලයන් අවහිර කරන නිසා ඔබ එවන් ජාල කිහිපයක් තබාගෙන සිටීම වඩාත් සුදුසුයි. ඇතැම් රජයන් වීපීඑන් ජාල තහනම් කර තිබෙන අතර එනිසා ඔබේ රටේ ඒ පිළිබද ඇති නීති ගැන දැනුවත් වන්න. කෙසේ නමුත් පූර්ණ වසා දැමීමකදී වීපීඑන් ජාලයක් මගින් වුවද ඔබට කිසිවක් කළ නොහැකි වනු ඇත.

  • පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට ක්‍රම කිහිපයක් තබා ගන්න. විවිධාකාර සන්නිවේදන ඇප්ස් ගණනාවක් බාගෙන ස්ථාපිත කිරීම මගින් එක් සේවාවක් අවහිර වුවද ඔබට වෙනත් සේවාවකට මාරු විය හැක. නමුත් ඒ ඒ ඇප්ස් වළ තිබිය හැකි ආරක්ෂක දුර්වලතා ගැන දැනුවත්ව සිටින්න. උදාහරණ ලෙස ඇතැම් සේවාවළ ස්වයංක්‍රීයව ගුප්ත කේතනය ක්‍රියාත්මක නොවන අතර එය ඔබම ක්‍රියාත්මක කළ යුතුවනු ඇත. අන්තර්ජාල වසා දැමීමකදී ඔබට එස් එම් එස් පණිවුඩ සේවා වැනි  අනාරක්ෂිත ක්‍රම යොදාගනිමින් සන්නිවේදනයේ යෙදීමට සිදුවිය හැකි අතර එනිසා සංවේදී තොරතුරු හුවාමාරු කිරීම ගැන ඔබ කල්පනාවෙන් සිටින්න.

  • බ්ලූටූත්, වයිෆයි ඩයිරෙක්ට්, හා Near Field Communication (NFC) තාක්ෂණය මගින් දත්ත බෙදා හරින්නේ කෙසේදැයි ඉගෙන ගන්න. මෙම ක්‍රම මගින් ඔබට ඔබේ දුරකථනය අන්තර්ජාලයට පිවිසීමෙන් තොරව වෙනත් අයෙකුගේ දුරකථනය සමග යුගල කර හැක. ඒවා සාමාන්‍යයෙන් ඔබගේ ජංගම දුරකථනයේ  සෙටින්ග්ස් කොටසේ පවතී. වසා දැමීමකට ලක්වීමට ප්‍රථම ඒවා භාවිතා කිරීමට පුහුණු වීම මගින් ලිපිගුනු බෙදා හැරීමේදී ඒවාහි ඇති සීමා පිළිබද දැනුවත් වන්න.

  • Briar හෝ Bridgefy වැනි සේවාදායකයන් – සේවාදායක ජාලකරණය (peer-to-peer) සහිත පණිවුඩ උපාංග බාගත කර ස්ථාපිත කරන්න. Briar යනු අන්තර්ජාලය, බ්ලූටූත් සහ වයිෆයි ඩයිරෙක්ට් උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන දෙඅන්තයෙන්ම ගුප්ත කේතනය කරන ලද පණිවුඩ ඇප් එකකි. Bridgefy සතුව Briar තරම් ආරක්ෂණ විධික්‍රම නොමැති වුවත් එය ඊට වඩා හොඳින් වැඩි දුරකදී ක්‍රියාත්මක වේ.

  • රෝමින්ග් පහසුකම සහිත අන්තර්ජාතික සිම් කාඩ් පතක් හෝ චන්ද්‍රිකා දුරකථනයක් ඔස්සේ ඔබට අන්තර්ජාලයට පිවිසිය හැක. කෙසේ නමුත් මෙම සේවා යොදා ගැනීමේදී ඇතිවන ආරක්ෂක අවදානම ගැන දැනුවත්ව සිටින්න. විශේෂයෙන්ම එම සේවා යොදා ගැනීමේදී ඔබ සිටිනා ස්ථානය සොයා ගැනීමේ හැකියාවක් පවතී. ඔබ සිටිනා රටේ ඒවා නීත්‍යානුකූල දැයි සොයා බලන්න.

අන්තර්ජාලය වසා දැමීමකට ලක්වූ අවස්ථාවක

  • පවත්නා තත්ත්වය මත අන්තර්ජාලය වසා දමා තිබෙන අවස්ථාවක වාර්තාකරණයේ යෙදීමේදී ඔබව රඳවා ගැනීමේ අවධානම වැඩි විය හැක. එනිසා ඔබ සහ වෙනත් අය අවදානමේ හෙළිය හැකි සංවේදී තොරතුරු ඔබේ උපාංග වළ නොමැති බවට සහතික කර ගන්න.

  • යම් සිදුවීමක් ඒ අවස්ථාවේදීම වාර්තා කිරීම ඔබට අපහසු වුවත්, සිදුවන්නේ කුමක්දැයි විස්තර කිරීමට ඇතැම් විට ඔබට හැකිවනු ඇත. හැකි නම් දත්ත ගබඩා කිරීම සඳහා ගුප්ත කේතනය කරන ලද යූඑස්බී දඬු හෝ සීඩී තැටි භාවිතා කර ඔබේ සගයන්ට හා කතෘවරුන්ට ලබා දෙන්න. මෙම උපාංග වළ ඇති දත්ත ගුප්ත කේතනය කර නොමැති නම් ඔබව රඳවා තබා ගැනීමකදී එම දත්ත වෙත බලධාරීන්ට පිවිසිය හැකි බව මතක තබා ගන්න.

  • ලිපිගොණු බෙදා හැරීම සඳහා බ්ලූටූත්, වයිෆයි ඩයිරෙක්ට්, හා NFC තාක්ෂණය යොදා ගන්න (මේවා බොහෝ විට ඔබේ උපාංගයේ සෙටින්ග්ස් යටතේ සොයා ගත හැක). මේ ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය කිරීම ආරක්‍ෂිත නොවන බව සිහියේ තබා ගන්න. ඔබ භාවිතා කරනා මෙවන් තාක්ෂණයන් ඔබ සමීපයේ ඇති නොදන්නා උපාංග සමග එක්වීම වැළක්වීම සඳහා ඒවා භාවිතා කිරීම අවසන් වූ විගස ක්‍රියාවිරහිත කරන්නට වග බලා ගන්න.

  • Briar සහ Bridgefy වැනි සේවාදායකයන් – සේවාදායක ජාලකරණය සහිත පණිවුඩ ඇප්ස් යොදාගන්න. එම දෙකෙහිම ඇති ආරක්‍ෂිත අවදානම් ගැන සැලකිල්ලෙන් සිටින්න. 

  • වසා දැමීමකට ලක්ව ඇති අවස්ථාවක සංවේදී තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා එස් එම් එස් හෝ දුරකථන ඇමතුම් වැනි අනාරක්ෂිත සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමෙන් වළකින්න. මෙවන් සන්නිවේදන ක්‍රම ඔස්සේ සම්ප්‍රේෂණය කරනා තොරතුරු රජයන්හට අතරමගදී අල්ලා ගැනීමට හෝ ඒවා තුළට පිවිසීමේ හැකියාව පවතී. උදාහරණයක් ලෙස ඔබේ විදුලි සංදේශන සැපයුම්කරු තුළින් එම තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී.

  • ඇන්ඩ්රොයිඩ් දුරකථන භාවිතා කරන්නන්හට අන්තර්ජාලයට සම්බන්ධ නොවී F-Droid භාවිතා කිරීම මගින් ඇප්ස් බාගත හැක. ඇන්ඩ්රොයිඩ් සඳහා තවත් විකල්පයක් ලෙස ඇප් එකක් පිහිටුවීම සඳහා එපීකේ ලිපිගොණුවක් (APK file) හැඳින්විය හැක. ඇප් ස්ටෝර් එකට සම්බන්ධ නොවී මෙම ඇප් හරහා  ලිපිගොණු උපාංග අතර හුවමාරු කරගත හැක. නමුත් ඒවා ඇප් ස්ටෝර් මගින් පරික්ෂාවට ලක් නොවේ. එබැවින් ඔබ හොඳින් දන්නා අයෙකුගෙන් ලැබෙන ලිපිගොණු පමණක් පිළිගන්න.

  • අන්තර්ජාල වසා දැමීම ගැන වාර්තා කිරීම සඳහා අවහිර කරන ලද වෙබ් පිටු වළ තිර රුව (screenshots) ලබා ගන්න. දේශීය හෝ ජාත්‍යන්තර  ඩිජිටල් අයිතිවාසිකම් සඳහා වන සංවිධාන සමග එම තොරතුරු පසු කලෙක බෙදා ගත හැක. නමුත් එසේ කිරීම තුළින් ඔබ අවදානමට ලක්විය හැකි බව මතක තබා ගන්න.

අන්තර්ජාලය වසා දැමීම අවසන් වීමෙන් පසු

  • අන්තර්ජාලය වසා දැමීමකට සූදානම් වීමේදී සාර්ථක වූයේ කුමක්ද හා අසාර්ථක වූයේ කුමක්ද යන්න පිළිබද ඔබේ ප්‍රවෘත්ති මැදිරියේ සගයන් සමග සාකච්ඡා කරන්න.

  • ඔබේ උපාංග සමාලෝචනය කරන්න. අන්තර්ගතයන් උපස්ථ කර (backup), ඒවා බාහිර දත්ත ගබඩාවකට (external drive) හෝ ක්ලවුඩ් පද්ධතියට යොමු කරන්න. හැකි සෑම අවස්ථාවකදීම ඔබේ දත්ත වඩාත් ආරක්ෂිතව තැබීම සඳහා ඒවා ගුප්ත කේතනය කරන්න.

වෙනත් සම්පත්

  • එවන් අන්තර්ජාල වසා දැමීමකදී සිද්ධි ලේඛනගත කිරීම පිළිබද සහ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් තොරව ඔබේ ජංගම දුරකථනය රාජකාරී කටයුතු කිරීම සඳහා ස්ථාපනය කිරීම ගැන “විට්නස්” (Witness) සංවිධානය සතුව සවිස්තර මාර්ගෝපදේශ ඇත.
  • ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) වසා දැමීමේ මෙවලම් කට්ටලය තුළ අන්තර්ජාල වසා දැමීමක් අතරතුර සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වාර්තා කරන්නේ සහ සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න පිළිබද දැනුවත් කර ඇත.