Law enforcement officers detaining journalists who were on assignment are photographed by a Reuters photographer a moment before his detention, in Minsk, Belarus July 28, 2020. All members of the media were released after being brought to and questioned at a local police station. REUTERS/Vasily Fedosenko - RC2E2I9T8YMB

පෞද්ගලික හා ඩිජිටල් ආරක්ෂාව: අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම්

මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, දූෂණ වංචා, හෝ සිවිල් කෝලාහල වැනි ඇතැම් ප්රවෘත්ති ආවරණය කිරීම තුළින් ඔබව අත්අඩංගුවට ගැනීමේ හා රඳවා තබා ගැනීමේ අවධානම වැඩිවිය හැක. විශේෂයෙන් ඒකාධිපති පාලනයක් හෝ අතිශයින් මිලිටරිකරණයට ලක්ව ඇති හා පොලිස් බලය ප්‍රබලව පවත්නා රටවල මෙම අවධානම වැඩිවේ.

බලධාරින් හමුවට ඔබ පැමිණවූ අවස්ථා වළදී, බොහෝ විට ඔවුන්ගේ ඉල්ලීම් නීතිවිරෝධී වුවද ඔබේ ආරක්ෂාව පතා ඒවා පිළිපැදීම වඩාත් සුදුසුය.

තමන්ගේ ආරක්ෂාව පතා මාධ්‍යවේදීන් පහත සඳහන් ඩිජිටල් හා පෞද්ගලික ආරක්ෂක උපදෙස් පිළිපැදීමට ගැන සිතා බැලිය යුතුය.

ඩිජිටල් ආරක්ෂණ උපදෙස්

ඔබව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින්නේ නම් ඊට ප්‍රථම ඔබේ උපකරණ හා දත්ත ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම මගින් ඔබ සහ ඔබේ මූලාශ්‍ර පිළිබඳ තොරතුරු වළට වෙනත් අය පිවිසීමේ අවධානම අඩුවේ.

ඔබේ උපකරණ සූදානම් කිරීම

ඔබව අත්අඩංගුවට ගන්නේ නම් ඔබේ උපකරණ රාජසන්තක කර ඒවා සෝදිසියට ලක් කිරීමේ ඉඩකඩ පවතී.

ඔබේ උපකරණ හා දත්ත ආරක්ෂා කරන්නට පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න:

  • ඔබේ උපකරණය “පින්ලොක්” එකක් මගින් හෝ මුරපදයක් මගින් ආරක්ෂණය කරන්න. නමුත් බලධාරීන්ට එම උපකරණ වළ අගුල් විවෘත කිරීමට මෙමගින් සම්පුර්ණයෙන්ම ඉඩ ඇහිරෙන්නේ නැති බව මතක තබා ගන්න. 
  • ඔබ වාර්තාකරණයේ යෙදෙන රටෙහි ගුප්ත කේතනය (encryption) සම්බන්ධ නීති පිළිබද දැනුවත් වීමෙන් පසු ඔබේ පරිඝණක හා ඇන්ඩ්රොයිඩ් උපකරණ සඳහා ඒවා ක්‍රියාත්මක කිරීම ගැන සිතා බලන්න. නවතම අයිෆෝන් වර්ගයන් තුළ ගුප්ත කේතනය සම්මතයක් ලෙස පවතී. ගුප්ත කේතනය බලාත්මක කරන්නට ඔබට ඔබේ උපකරණයේ බලය අඩු කරන්නට (power down) සිදුවනු ඇත.
  • ලියවිලි හා ඡායාරූප ඇතුළු ඔබේ උපාංග වළ පවත්නා දත්ත මොනවාද සහ ඒවා පවතින්නේ කොහේදැයි යන්න ගැන දැනුවත් වන්න. ඔබව අවධානමේ හෙළිය හැකි යැයි හැඟෙන දත්ත ඉවත් කරන්න.
  • හාඩ් ඩ්‍රයිව් එකකට වැනි බාහිර දත්ත ගබඩාවකට (external storage device) ඔබේ තොරතුරු නිතර යොමු කරන්න. ඉන් පසු ඔබේ උපකරණයෙන් එම තොරතුරු ඉවත් කරගත යුතුයි. සංකීර්ණ තාක්ෂණික හැකියාවක් ඇති බලධාරීන්ට හෝ අපරාධ කල්ලි වළට මකා දැමූ දත්ත නැවත ලබා ගැනීමට හැකියාවක් ඇති බවත් මතක තබා ගන්න.
  • ඔබේ බාහිර දත්ත ගබඩා ගුප්ත කේතනය කරන්න. ඔබේ දත්ත වළ පිටපත් එක් ඩ්‍රයිව් එකකට සීමා නොකොට ස්ථාන කිහිපයක ගබඩා කර තබන්නේ නම් වඩාත් සුදුසුයි. නමුත් ඔබේ නිවසෙහි හෝ රැකියා ස්ථානයේ එවන් දත්ත ගබඩා කිරීමෙන් වළකින්න. ඔබව රඳවා තැබීමකට ලක්වුව හොත් එම ස්ථාන සෝදිසියකට ලක් කර හැකිය.
  • ඔබේ අන්තර්ජාල විමසුම් ඉතිහාසය (browsing history) නිතර නිතර මකා දමන්න. එමෙන්ම ඔබ ලොග් වී සිටින සියලු ගිණුම් වළින් නිතර ඉවත් වන්න.
  • ඔබේ පණිවුඩ ඇප්ස් වළ ඇති අන්තර්ගතයන් ගැන දැනුවත් වන්න. එම දත්ත නිතර වෙනත් දත්ත ගබඩා වළට මාරු කර අන්තර්ගතයන් මකා දැමීමේ ක්‍රමවේදයකට යොමුවන්න.
  • ඔබේ දුරකථනයේ සහ පණිවුඩ ඇප්ස් වළ ඇති සබඳතා (contacts) කළමනාකරණය කරන්න. ඔබව හෝ අන් අය අනතුරේ හෙළිය හැකි තොරතුරු ඇත්නම් ඒවා ඉවත් කරගන්න. සිම් කාඩ් පතට අමතරව එම සබඳතා ඇප්ස් තුළ සහ ක්ලවුඩ් පද්ධති තුළ ගබඩා කර ඇති බව මතක තබා ගන්න.
  • ඔබේ උපකරණ දුරස්ථව සිට මකා දැමිය හැකි (remote wipe) පරිදි සකස් කරන්න. ඔබව අත්අඩංගුවට ගතහොත් හෝ රඳවා තබා ගතහොත් ඔබට ඔබේ උපකරණ වළින් දත්ත දුරස්ථව සිට මකා දැමීමට වේලාව නොමැති වේයැයි හැඟෙන්නේ නම්, ඒවා ඔබ වෙනුවෙන් මකා දැමීම පිළිබඳ විශ්වාසවන්ත යමෙකු සමග කතා කළ යුතුය. එවන් උපකරණයක දත්ත මකා දැමිය හැක්කේ එය අන්තර්ජාලයට සම්බන්ධව ඇත්නම් හෝ මොබයිල් ඩේටා ක්‍රියාත්මක කළ ඇත්නම් පමණි. ඔබේ උපකරණයේ දත්ත මකා දැමීම තුළින් ඔබව වඩාත් සැකයට භාජනය වේ දැයි සිතා බලන්න.
  • ඔබේ උපකරණ ඔබට අහිමි කර වෙනත් දිනයක නැවත ඔබ වෙත ලබා දෙන්නේ නම් ඒවාට බොහෝ විට ස්පයිවෙයා යොදා තිබීමේ හැකියාවක් පවතී. හැකියාවක් තිබේ නම් ඔබ අලුතින් උපකරණ මිලදී ගන්නේ නම් වඩාත් සුදුසුයි. එසේ කළ නොහැකි නම් ඔබේ දුරකථනය නැවත සකස් කිරීමකට (factory reset) යොමු කළ යුතුය. කෙසේ වුවත් මෙමගින් ස්පයිවෙයා ඉවත් වීම සිදු නොවීමට ඉඩ තිබේ. 

ඔබේ ගිණුම් ආරක්ෂා කිරීම

ඔබව රඳවා තබා ගතහොත් ඔබේ අන්තර්ජාල ගිණුම් වළ මුරපද ලබා දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටය හැක. අන් අය ඔබේ ගිණුම්  වළට පිවිසීම ඔබට වැළක්විය නොහැකි වුවද ඔවුන්ට ලබා ගත හැකි දත්ත ප්‍රමාණය අවම කිරීමට ඔබට ක්‍රියාමාර්ග ගත හැක.

ඔබේ ගිණුම් වළ ඇති අන්තර්ගතයන්ට අන් අය පිවිසීම සීමා කරන්න:

  • විශේෂයෙන් ඊමේල් සහ සාමාජ මාධ්‍ය ඇතුළු ඔබේ සියලු ගිණුම් වළ අන්තර්ගතයන් නිතර සමාලෝචනය කරන්න. ඔබව හෝ අන් අය අවධානමේ දැමිය හැකි තොරතුරු මොනවාදැයි දැනගන්න.
  • පරණ ඊමේල් සහ සමාජ මාධ්‍ය පණිවුඩ ඇතුළු ඔබේ ගිණුම් වළ ඇති සියලු අන්තර්ගතයන් නිතර වෙනත් ස්ථාන වළට මාරු කර ඒවා මකා දමන්න. නමුත් මෙම අන්තර්ගතයන් මැකී යන්නේ ඔබේ ගිණුමෙන් පමණක් බව මතක තබා ගන්න. ඔබ සමග සන්නිවේදනයේ යෙදෙන තැනැත්තාගේ ගිණුමෙන් ඒවා මැකී යන්නේ නැත. ඔබ භාවිතා කරන්නේ සිග්නල් හෝ වට්ස්ඇප් වැනි දෙඅන්තයෙන්ම ගුප්ත කේතනය කරන ලද (end-to-end encrypted) සේවාවක් නොවේ නම් ඊමේල් සහ පණිවුඩ ඇතුළු ඔබේ සියලු දත්ත වළ පිටපත් එම සමාගම සතුව තිබෙන අතර ඒවා ඉල්ලා රජයන් වළට සිතාසි යැවිය හැක.
  • ඔබ සම්බන්ධ වන්නේ කවුරුන් සමග දැයි ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වළ ඇති අනුගාමිකයන් (followers) සහ මිතුරන්ගේ ලැයිස්තු (friends list) මගින් විශාල තොරතුරු ප්‍රමාණයක් සොයා ගත හැක. සමාජ මාධ්‍ය වළ ඔබේ මිතුරන් හා අනුගාමිකයන් ගැන සමාලෝචනයක් කර ඔබට හෝ අනෙක් අයට අවධානමක් විය හැකි යැයි හැඟෙන අය ඉවත් කරන්න. මෙම දත්ත වළ පිටපතක් සමාගමේ සර්වරය (server) තුළ තව දුරටත් පවතින අතර ඒවා ඉල්ලා රජයන්ට සිතාසි යවන්නට හැකිය.
  • අන්තර්ජාල සේවා වළ ඇති ඡායාරූප සහ වීඩියෝ ඔබේ පවුලේ අය වැනි පෞද්ගලික සමීපතමයන් සහ ඔබේ මූලාශ්‍රයන් වැනි වෘත්තිමය සමීපතමයන් හඳුනා ගැනීමට භාවිතා කළ හැක.
  • ඔබේ ගිණුම් වෙතින් ලොග් අවුට් වෙමින් හා නිතර ඔබේ අන්තර්ජාල විමසුම් ඉතිහාසය මකා දමමින් ඔබේ ගිණුම් වළට පිවිසීමේ හැකියාව අවම කරන්න. ඔබේ දුරකථනයේ හෝ පරිඝණකයේ ඇති පණිවුඩ ඇප්ස් හා ඊමේල් සේවා වැඩසටහන් සීමා කරන්න.  

පෞද්ගලික ආරක්ෂණ අවවාද

පැවරුමට පෙර සිතා බැලිය යුතු කරණු

  • ඔබ වාර්තාකරණයේ යෙදෙන රටෙහි මාධ්‍යවේදියෙකු ලෙස ඔබට ඇති නීතිමය අයිතිවාසිකම් පිළිබද විමර්ශනය කර වටහා ගන්න. පහත සඳහන් දේ ගැන සොයා බලන්නට උත්සාහ කරන්න:

– ඔබව අත්අඩංගුවට ගත හැකි / නොහැකි කරුණු;

– මීට පෙර මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත් අවස්ථා සහ ඔවුන් ගැන හැසිරුණු ආකාරය;

– එම දිනයේ අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ කුමන ඒකකයන්ද යන වග (උදා:- නිල ඇඳුම් ඇඳ සිටින නිලධාරින්, සිවිල් ඇඳුමින් සිටින වෙස්ගත් නිලධාරින්, හමුදා සාමාජිකයන් ආදිය);

– චෝදනා ගොනු කරන තෙක් ඔබව කෙතරම් කලක් රඳවා තබා ගත හැකිද යන්න;

–  ඔබට දුරකථන ඇමතුම් දිය හැකිද යන්න හා ඒ කාහටද යන්න වග;

– ඔබට ඔබේ භාෂාවෙන් කතා කළ හැකි නීතිඥයෙකුගේ සහාය ලැබෙන්නේද යන්න;

– ඔබට ලැබෙන නීතිඥ සහාය සඳහා ගෙවන්නේ කවුරුන්ද යන වග;

– ඔබේ තානාපති කාර්යාලයට / කොන්සල් කාර්යාලයට ඔබේ අත්අඩංගුවට ගැනීම ගැන දැනුවත් කරන්නේද (අදාළ නම්);

– අත්අඩංගුවට ගතහොත් ඔබව ගෙන යන්නේ කුමන ස්ථානයකටද යන්න;

  • කිසියම් භාණ්ඩයක් හෝ උපකරණයක් රැගෙන යාමෙන් ඔබ අත්අඩංගුවට පත්වීමේ අවධානම ඉහළ යනු ඇත්දැයි සිතා බලන්න (උදා:- චන්ද්‍රිකා දුරකථන, වෝකි ටෝකි යන්ත්‍ර, දුරදක්න, හමුදා ඇඳුම් වළට සමාන ඇඳුම්, නයිට් විෂන් උපාංග ආදිය)
  • සැමවිටම ඔබ සතුව නිවැරදි සහ නීත්‍යානුකූල ලියවිලි තබා ගැනීමට සහතික වන්න (මාධ්‍ය හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, විදෙස් ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර ආදිය)
  • පූර්ණව ආරෝපණය කරන ලද දුරකථනයක්, යම් මුදල් ප්‍රමාණයක්, ඔබ ගනු ලබන යම් ඖෂධ වෙතොත් ඒවා සහ සාමාන්‍යයෙන් අවශ්‍ය කරන බීමට ගන්නා ජලය, ශක්ති ජනක ආහාර හා උණුසුම් ඇඳුම් වැනි දෑ රැගෙන යන්න.
  • පවත්නා තත්ත්වයට ගැලපෙන පරිදි ඇඳුම් ඇඳ යන්න. ඔබව පොලිසිය විසින් රඳවා ගතහොත් ඔබට එකම ඇඳුමින් දිගු කාලයක් සිටීමට සිදු විය හැක.
  • ඔබව අත්අඩංගුවට ගතහොත් ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි සිතා බලන්න. ස්ථානය හා පවත්නා තත්ත්වය මත පොලිස් නිලධාරින් බරපතල සහ ප්‍රචණ්ඩකාරීව ලෙස හැසිරිය හැකි බවට මතක තබා ගන්න.    
  • උපකරණ නැතිවී යාමේ අවධානම අඩු කිරීම සඳහා අවම උපකරණ ප්‍රමාණයක් රැගන යන්න.  වැඩි විස්තර සඳහා CPJ හි අවධානම් තක්සේරු සැකිල්ල වෙත අවධානය යොමු කරන්න.

සන්නිවේදනය

  • ඔබව අත්අඩංගුවට ගතහොත් ඔබට සම්බන්ධ විය හැකි නීතිමය නියෝජිතයෙක් හඳුනා ගන්න. ඔවුන්ගේ නම සහ දුරකථන අංකය ඔබේ දුරකථනයේ ගබඩා කර ගන්න. එමෙන්ම එම තොරතුරු කොළයක හා / හෝ ඔබේ අතේද ලියා තබා ගන්න.
  • ඔබ රාජකාරී කරන්නේ වෙනත් රටක නම්, ඔබේ තානාපති කාර්යාලයේ / කොන්සල් කාර්යාලයේ හදිසි ඇමතුම් දුරකථන අංකය ඔබේ දුරකථනයේ ගබඩා කර තබා ගන්න.
  • තනිව වැඩ කිරීමෙන් හැකිතාක් වලකින්න. ඔබ තනිව වැඩ කරන්නේ නම් ඔබව රඳවා තබා ගතහොත් / අත්අඩංගුවට ගතහොත්, අනතුරු අඟවන්නට වැඩි වෙලාවක් ගතවිය හැක.
  • රඳවා තබා ගැනීමේ / අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති නම් ඔබේ කාර්යාලය, පවුලේ උදවිය හෝ මිතුරන් සමග නිතර සම්බන්ධ වීමේ ක්‍රමවේදයක් සකස් කරන්න. ඔබ ඔවුන් හා කොපමණ වාරයක් සම්බන්ධ වන්නේද, එසේ කිරීමට ප්‍රමාද වුවහොත් කරන්නේ කුමක්ද, හා ඔබ නැවත පැමිණෙන්නේ කවදාද යන්න පිළිබද ඔවුන් දැනුවත් කරන්න.

පැවරුම අතරතුර

  • දීර්ඝ වේලාවක් එකම ස්ථානයේ රැඳී සිටීමෙන් වලකින්න. විශේෂයෙන් ඔබ සිටිනෙන්නේ දේශපාලන ගොඩනැගිල්ලක් වැනි සංවේදී ස්ථානයක් අසල නම් එසේ දිගටම රැඳී සිටීමෙන් වලකින්න.
  • බොහෝ රටවල පොලිස් නිලධාරින් ඔවුන් ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝ කිරීම ගැන දැඩි අකැමැත්තක් දක්වයි. පොලිස් නිලධාරින් සමීපයේ රාජකාරි කරන විට මේ ගැන සිහියේ තබා ගන්න.
  • අවි ආයුධ, මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ ඔබව අත්අඩංගුවට පත්වීමේ අවධානම වැඩිවන දේ කිසිවිටක රැගෙන නොයන්න.

ඔබව රඳවා ගතහොත් / අත්අඩංගුවට ගතහොත් 

  • ඔබව අත්අඩංගුවට ගැනීමට ප්‍රථම ඔබව අත්අඩංගුවට ගන්නා බවත් එසේ කරන්නේ කුමන හේතුවක් මතද යන්නත් පොලිස් නිලධාරියා ඔබට පැවසිය යුතුය. අත්අඩංගුවට ගැනීමට යාමේදී ස්ථානය, වේලාව සහ පවත්නා තත්ත්වයට අවධානය යොමුකරන්න.
  • සැම විටම සන්සුන්ව සිටිමින් විනීතව හැසිරෙන්න. හිස්වැස්මක් හා/හෝ අවු කණ්නාඩියක් පැළඳ සිටියි නම් ඒවා ඉවත් කරන්න. හැකි නම් නිලධාරියා දෙස එක එල්ලේ බලා කතා කරන්න. ඔවුන්ට එරෙහි නොවන්න.
  • ඔබේ අත්අඩංගුවට ගැනීම ඡායාරූපගත කිරීමෙන් හෝ වීඩියෝ කිරීමෙන් වැලකී සිටින්නේනම් වඩාත් සුදුසුයි – මන්ද එසේ කිරීමෙන් පොලිසිය කුපිත වන්නට ඉඩ තිබෙන අතර එවිට ඔබේ උපකරණ වළට හානි කිරීමට හෝ ඒවා රාජසන්තක කිරීමට ඔවුන් පෙළබෙන්නට හැක.
  • ඔබේ බෑගය, උපකරණ හා ඉලෙක්ට්‍රොනික උපාංග හැකි සෑමවිටම ඔබට පෙනෙන දුරකින් තබා ගන්න.  
  • හතිය හෝ දියවැඩියාව වැනි සෞඛ්‍ය ගැටළු වළින් ඔබ පෙළෙයි නම් ඒ බව පොලිසිය දැනුවත් කරන්න. එම සෞඛ්‍ය තත්ත්වය පාළනය කිරීමට ඔබ යම් ඖෂධ ලබා ගන්නේ නම් පොලිසිය ඔබව අත්අඩංගුවට ගත් විගස ඒ බව ඔවුන්ට පවසන්න.
  • ඔබට මානසික සෞඛ්‍ය ගැටළු සම්බන්ධ ඉතිහාසයක් ඇත්නම් හෝ එම අවස්ථාවේ මානසික සෞඛ්‍ය ගැටළු වළින් පෙළෙන්නේ නම් ඒ පිළිබද පොලිසිය දැනුවත් කරන්න.
  • හැකියාවක් පවතී නම් ඔබව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරින් ගැන හැකි පමණ තොරතුරු රැස් කරන්න. ඔවුන්ගේ නම්, නිල අංක, දෙපාර්තමේන්තුව, සහ පහසුවෙන් හඳුනා ගත හැකි සලකුණු කෙරෙහි අවධානය යොමු කරන්න. (උදා:- පච්ච, රැවුල වැනි දෑ)
  • ඔබව් අත්අඩංගුවට පත්වීම දකින ඔබ වටා සිටින පුද්ගලයින් දෙස අවධානයෙන් සිටින්න. හැකි නම් ඒ සම්බන්ධව අන් අය දැනුවත් කරන ලෙස ඔවුන්ට පවසන්න.
  • ඔබට එම රටේ භාෂාව කතා කිරීමට හෝ කියවීමට නොහැකි නම් ඔබ සමග භාෂා පරිවර්තකයෙකු හා / හෝ නීතිඥයෙකු සිටින තෙක් කිසිදු ලියවිල්ලකට අත්සන් කිරීමෙන් හෝ කිසිවකට වගකීම භාර ගැනීමෙන් වලකින්න.
  • ඔබ නීතිවිරෝධී ද්‍රව්‍ය සඟවා ගෙන සිටින්නේ යැයි පොලිස් නිලධාරියාට හැඟෙන්නේ නම් ඔවුන් ඔබව සෝදිසියට ලක් කිරීම, අතින් තට්ටු කර පිරික්සීමකට ලක් කිරීම හෝ ඔබව නිරුවත් කර පරික්ෂා කිරීමකට පවා පෙළබෙන්නට පුළුවන. නිරුවත් කර පරික්ෂා කරන්නේ නම් ඒ සඳහා ඔබව අනතුරට භාජනය වීමට වඩා ඉඩ ඇති පෞද්ගලික ස්ථානයකට රැගෙන යාමේ ඉඩකඩක් පවතී. එවන් පරීක්ෂාවක් සඳහා පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සැමවිටම සිටිය යුතු අතර ඔබ කාන්තාවක් නම් ඔබව නිරුවත් කර පරික්ෂා කිරීම කාන්තා නිලධාරිනියක් අතින් සිදුවිය යුතු බවට තරයේ ප්‍රකාශ කර සිටින්න.  
  • ඔබ සිටිනා ස්ථානය මත පොලිස් නිලධාරීන් ඔබ යම් අපරාධයකට වරදකරු බවට පිළිගන්නා ලෙස බලපෑම් කිරීමට හා / හෝ තර්ජනය කිරීමට ඉඩ ඇත. එවන් අවස්ථා වළ සැමවිටම ඔබේ කතාව මේ යැයි ස්ථිර ලෙස පවසන්න. නොකළ කිසි දෙයටක වගකීම භාර නොගෙන නීතිඥ සහාය ලැබෙන තෙක් බලා සිටින්න.
  • ඔබට පොලිස් නිලධාරියෙකු පහර දුන්නේ නම් ඔබට සිදුවී ඇති තුවාල මොනවාද, ඒ සඳහා ලබාදුන් ප්‍රතිකාර මොනවාද සහ ඔබව රෝහල කරා රැගෙන ගියාද යන්න පිළිබද වාර්තා කර තබා ගන්නට උත්සාහ කරන්න. පහර දීමට සම්බන්ධ අයගේ නම් සහ ඔවුන්ගේ හැඩරුව පිළිබද විස්තරයක් සටහන් කර තබා ගන්නට උත්සාහ කරන්න. 

CPJ සංවිධානයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබද උපදෙස් කට්ටලය තුළ සිවිල් කෝලාහල ආවරණයේදී ඇතුළු අනෙකුත් අවස්ථා වළ භාවිතා කළ හැකි පෞද්ගලික, ඩිජිටල් සහ මානසික ආරක්ෂණ සම්පත් සහ මෙවලම් පිළිබද සාමාන්‍ය ආරක්ෂක තොරතුරු ඇත. උදවු අවශ්‍ය මාධ්‍යවේදීන් හට [email protected]. මගින් CPJ සංවිධානය හා සම්බන්ධ විය හැක.