ඝාතනයට ලක්වූ ජනමාධ්‍යයවේදීන් උදෙසා යුක්තිය උදෙසා රජයන්ට අධිචෝදනා ගොණු කිරීමට ජනතා අධිකරණයක් සූදානම් වේ

හේග් නුවර, 2021 සැප්තැම්බර් 28 – ඝාතනයට ලක්වූ  ජනමාධ්‍යයවේදීන්  උදෙසා යුක්තිය ඉටුකිරීමට සහ ඔවුන්ගේ මරණ විමර්ශනය කර ඊට අදාළ රාජ්‍යයන් වගවීමට ලක් කරන, මින් පෙර නොවූ ආකාරයේ ජනතා අධිකරණයක්  පිහිටුවීමට ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානපෙළේ සංවිධාන තුනක් කටයුතු කර ඇත. මෙම බිම් මට්ටමේ ජනතා අධිකරණය රටවල් තුනක සිදුවූ ජනමාධ්‍යයවේදීන් තුන් දෙනෙකුගේ මරණ පිලිබඳ විමර්ෂණයන් නීති විශ්ලේෂණ මත කිරීමට නියමිතය. මේ සඳහා ආරම්භක නඩු විභාගය 2021, නොවැම්බර් 2 නෙදර්ලන්තයේ ද හේග් නුවර හිදී පැවැත්වේ.

ලොව පුරා ජනමාධ්‍යයවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් පවතී. 1992 සිට මේ දක්වා ජනමාධ්‍යයවේදීන් 1400ට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර,  ජනමාධ්‍යයවේදියෙකු ඝාතනය වූ අවස්ථා දහයෙන් අටක මිනීමරුවන් නිදහස්ව සිටී. මෙවැනි ඉහල දණ්ඩමුක්තියක් හේතුවෙන්  ජනමාධ්‍යයවේදීන්ට  ‍එරෙහි  ප්‍රචණ්ඩත්වය  තව තවත් වැඩි වන අතර, එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටද තර්ජනයක් වී තිබේ.

මේ සඳහා දැවැන්ත පියවරක් ඉදිරියට තබමින්, ජනමාධ්‍යය නිදහස වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන සංවිධාන තුනක් වන ෆ්‍රී ප්‍රෙස් අන්ලිමිටඩ් (Free Press Unlimited), දේශසීමා නොමැති වාර්තාකරුවන් (Reporters Without Borders)  සහ  ජනමාධ්‍යයවේදීන්  ආරක්‍ෂා කිරීමේ කමිටුව (Committee to Protect Journalists) යන ආයතන, ඝාතනයට ලක්වූ  ජනමාධ්‍යයවේදීන්  උදෙසා  ජනතා අධිකරණයක් පිහිටුවන ලෙස Permanent People’s Tribunal සංවිධානයෙන් ඉල්ලා ඇත.  ජනතා අධිකරණය සැලසුම් කර ඇත්තේ මහජනතාව දැනුවත් කිරීම සහ නීත්‍යානුකූල සාක්ෂි වාර්තාවක් ජනනය කිරීම තුළින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යයන් වග වීමට භාජනය කිරීම සහ ඒ හරහා වින්දිතයින් සවිබල ගැන්වීමය.  වින්දිතයින්ගේ සාක්ෂි පටිගත කිරීමද මේ හරහා සිදු වේ. ජනතා අධිකරණය විසින් ඝාතනයට ලක්වූ  ජනමාධ්‍යයවේදීන් ලසන්ත වික්‍රමතුංග (Lasantha Wickrematunge), මිගෙල් ඇන්ජල් ලෝපෙස් වෙලස්කෝ (Miguel Ángel López Velasco) සහ නබිල් අල්ෂර්බාජි (Nabil Al-Sharbaji) යන අය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ශ්‍රී ලංකාව, මෙක්සිකෝව සහ සිරියාව යන රජයන්ට අධිචෝදනා ඉදිරිපත් කරනු ඇත.

නොවැම්බර් 2, 2021 දිනයේ පැවැත්වීමට නියමිත ජනතා අධිකරණයේ ආරම්භක සැසියේ දී සුප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥ අල්මුදෙනා බර්නබියු (Almudena Bernabeu) විසින් පැමිණිල්ල මෙහෙයවනු ඇත. මේ අවස්ථාවේදී, මාධ්‍ය නිදහස පිළිබඳ නීති විශාරද මණ්‌ඩලයේ (High Level Panel of Legal Experts on Media Freedom) සාමාජිකාවක් වන හෙලේනා කෙනඩි (Baroness Helena Kennedy of the Shaws QC ) විසින් ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

සාක්‍ෂි ඉදිරිපත් කරන ප්‍රධාන සාක්ෂිකරුවන් වනුයේ, 2018 දී ඝාතනයට ලක්වූ සෞදි ජනමාධ්‍යයවේදී ජමාල් කෂෝගිගේ (Jamal Khashoggi) සහකරු සහ විද්වතියක් වන හැටිස් සෙංගීස් (Hatice Cengiz), 2017 දී ඝාතනයට ලක්වූ මොල්ටාවේ (Malta)  ජනමාධ්‍යයවේදී ඩැෆ්නි කරුවානා ගලීෂියාගේ  (Daphne Caruana Galizia) පුත්‍ර  ජනමාධ්‍යයවේදී මැතිව් කරුවානා ගැලිසියා (Matthew Caruana Galizia) සහ 2018 දී ඝාතනයට ලක් වූ ජාන් කුචියාක්ගේ (Ján Kuciak) සමකාලීන මාධ්‍යාවේදියෙකු වන පව්ලා හොල්කෝවා (Pavla Holcová) යන අයයි.

මෙම මහජන අධිකරණයේ ආරම්භක සැසිය මධ්‍යයම යුරෝපීය වේලාවෙන්  09.00 සිට 18.00 දක්වා (ශ්‍රී ලංකා වේලාවෙන්  13.30 සිට 22.30 දක්වා) 2021 නොවැම්බර් 2, අඟහරුවාදා හේග් නුවරහිදී පැවැත්වෙන අතර, [email protected] විද්‍යුත් තැපෑලෙන් පෞද්ගලිකව සහභාගී විය හැකිය. නැතහොත් http://saferworldforthetruth.com/tribunal යන වෙබ් අඩවිය හරහා සජීවීව සම්බන්ධ විය හැකිය.

ෆ්‍රී ප්‍රෙස් අන්ලිමිටඩ්හි(Free Press Unlimited) ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධීක්ෂක ලියොන් විලම්ස් (Leon Willems) මෙසේ පවසයි:

සත්‍යය වාර්තා කිරීම හේතුවෙන් බොහෝ නිර්භීත ජනමාධ්‍යයවේදීන් ඝාතනය කර තිබේ. ජනතා අධිකරණය මෙම සාහසික අපරාධ සඳහා යුක්තිය ඉල්ලා සිටින අතර, ජනමාධ්‍යයවේදීන්ගේ ඝාතන සම්බන්ධව පවතින දණ්ඩමුක්තිය අවසන් කිරීමට රජයන් පෙළගැස්වවීම සඳහා පන්නරයක් වනු ඇත. මෙම අපරාධ සිදු කළ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට තවත් කළ හැකි හා කළ යුතු දේ බොහෝය. ‘සත්‍යය සඳහා වඩාත් ආරක්ෂිත ලෝකයක්‘ (A Safer World For The Truth) උදෙසා මෙය දායක වනු ඇත.”

ජනමාධ්‍යයවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුවේ (Committee to Protect Journalists) විධායක අධ්‍යක්‍ෂක ජොයෙල් සයිමන් (Joel Simon)මෙසේ පවසයි :

මෙම නිර්භීත ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජනතා අධිකරණයේ කාර්යභාරය වැදගත් වන අතර, ඔවුන්ගේ  පවුල්වල  සාමාජිකයින්ට සහ සගයන්ට තමන්ගේ ළබැඳියන්ගේ වියෝව පිලිබඳ කතා කිරීමට සහ ඔවුන්ගේ මතකයන් බෙදා ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත. මෙම ජනමාධ්‍යවේදීන්ගේ  මතකය  ජීවතුන් අතර තබා ගැනීමට බොහෝ අය වෙහෙස මහන්සි වී වැඩ කර ඇත. දණ්ඩමුක්තියට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන්හිදී ඔවුන්ගේ හඬ  තීරණාත්මක වේ.”

දේශසීමා නොමැති වාර්තාකරුවන්ගේ (Reporters Without Borders) මහලේකම් ක්‍රිස්ටෝෆ් ඩෙලෝර් (Christophe Deloire)මෙසේ පවසයි :

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්යාන්තර දිනය නොවැම්බර් 2 දා ජනතා අධිකරණයේ මුල් සැසිය සනිටුහන් කෙරේ. මෙම මුලපිරීම බලධාරීන් නම් කිරීමෙන් හා ලැජ්ජාවට පත් කිරීමෙන් ඔබ්බට ගොස් දණ්ඩමුක්තිය නැති කිරීමට ඉඩ සලසයි. එය අධිකරණයක් විසින් කුමක් කළ යුතුද යන්න පිළිබඳ නිශ්චිත හා ප්‍රයෝජනවත් පරමාදර්ශයක් තැබීමක් වනු ඇත.”

ජනමාධ්‍යයවේදීන්ගේ ඝාතන පිළිබඳ ජනතා අධිකරණයේ පැමිණිල්ල මෙහෙයවන අල්මුදේනා බර්නාබියු (Almudena Bernabeu) මෙසේ පවසයි :

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අත්‍යවශ්‍ය මානව අයිතිවාසිකමකි. කෙසේ වෙතත්, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කෙරෙන බරපතල උල්ලංඝනයන් හා පවත්නා ඉහළ මට්ටමේ දණ්ඩමුක්තිය මේ සදහා ප්‍රබල බාධාවකි. රාජ්‍යයන් වග විය යුතු කාලය පැමිණ ඇත.”

[අවසන්]

කර්තෘවරුන් සඳහා සටහන් [ප්රකාශනය සඳහා නොවේ]:

සත්‍ය සඳහා ආරක්ෂිත ලෝකයක් යනු නිදහස් මාධ්‍ය සීමා රහිත (Free Press Unlimitted), දේශසීමා නොමැති වාර්තාකරුවන් (Reporters Without Borders සහ මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුව (Committee to Protect Journalists) අතර සහයෝගිතාවකි. ව්‍යාපෘතිය ගැන වැඩිදුර දැන ගැනීමට අපේ වෙබ් අඩවියට පිවිසෙන්න: https://www.saferworldforthetruth.com/

වැඩි විස්තර සඳහා කරුණාකර සම්බන්ධ වන්න:

Free Press Unlimited, Amsterdam, the Netherlands  :

Maya Muller, Press Officer  – [email protected] හෝ +31 6 82 09 12 09 අමතන්න.

ලන්දේසි, ප්‍රංශ, ඉංග්‍රීසි, ජර්මානු සහ ස්පාඤ්ඤ භාෂාවලින් සම්මුඛ සාකච්ඡා සඳහා ප්‍රකාශකයින් සිටී.

සහභාගී වන ආයතන පිලිබඳ විස්තර:

Free Press Unlimited (FPU): ෆ්‍රී ප්‍රෙස් අන්ලිමිටඩ් යනු නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ පිහිටි ලාභ නොලබන සංවිධානයකි. ගැටුම් පවතින ප්‍රදේශයන්හි ස්වාධීන සහ විශ්වාසනීය තොරතුරු ලබා ගැනීම සදහා ජනමාධ්‍යයවේදීන්ට සහය වන සංවිධානයකි. ප්‍රාදේශීය මාධ්‍ය වෘත්තිකයින්ට සහයෝගය දීමෙන්, ෆ්‍රී ප්‍රෙස්  අන්ලිමිටඩ්  තිරසාර, වෘත්තීය සහ විවිධ මාධ්‍ය පරිසරයක් ඇති කිරීම උදෙසා සහාය වීමට උත්සාහ කරයි.

Committee to Protect Journalists (CPJ):   ජනමාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුව යනු ලොව පුරා මාධ්‍ය නිදහස ප්‍රවර්‍ධනය කරන ස්වාධීන ලාභ නොලබන සංවිධානයක් වන අතර, පළිගැනීම් වලට බිය නොවී ආරක්‍ෂිතව වාර්තා කිරීමේ ජනමාධ්‍යවේදීන්ගේ අයිතිය ආරක්ෂා කරයි.

Reporters Without Borders (RSF): දේශසීමා රහිත වාර්තාකරුවන් යනු ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයකි. බ්‍රසල්ස්, ඩාකාර්, වොෂිංටන්, බර්ලින්, ටියුනිස්, රියෝ ද ජැනයිරෝ, තායිපේ සහ ස්ටොක්හෝම් ඇතුළු රටවල් දහයක පිහිටි එහි කාර්යාලයන් සහ රටවල් 130ක එහි වාර්තාකරුවන්ගේ ජාලය තූලින් ජනමාධ්‍යයවේදීන්ට සහය දීමට සහ ජනමාධ්‍යය නිදහස වෙනුවෙන් රාජ්‍යයන්ට බල කිරීමට RSF බැඳී සිටී.